Thursday, April 14, 2011

ඔබත් කෙල ගසන්නෙක්ද?

උදෑසන එලියට බසින මට දෙමටගොඩ බස් නැවතුමට යාමට මීටර 300 පමණ ඇවිදීමට සිදුවේ. ත්‍රීවීල්, කන්ටේනර්, කුකුලුන් ප්‍රවාහනය කරන truck රථ වැනි සුලබ දසුන් අතරේ මා නොවැරදීම දකින තවත් දසුනක් ඇත. ඒ තාර පාරේ හා ඒ අවට මිනිසුන් විසින් ඉවතලූ තඩි කෙල පිඩවල්ය. උදෑසනම එවන් අප්‍රසන්න දසුනක් මැවීමට දායකවන තවත් පිරිසක් තව දුරටත් මීටර 10න් 10ට කෙල පිඬවල් හෙලමින් ගමන් කරනා අයුරුද මට පෙනේ.

තමන්ගේ සිරුරෙන් පිටවන අපදව්‍ය වලින් පොදු ස්ථාන අපවිත්‍ර කිරීම නොහොඹිනා ක්‍රියාවක් බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ. පොදු ස්ථානයක මුත්‍රා කිරීම, මලපහ කිරීම සමාජ ආචාරධර්ම වලට පටහැනි නොහොඹිනා ක්‍රියාවක් වන්නේද, එබදු ස්ථාන කෙළ පිඬු වලින් අපවිත්‍ර කිරීමද එබඳුම පිලිකුල් සහගත නොහොඹිනා ක්‍රියාවකි.

ඛේටය ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ ජලයෙනි. ඊට අමතරව ලවණ, ශ්ලේෂ්මල, ජීරක එන්සයිම හා මිලියන ගණනක් බැක්ටීරියා එහි අන්තර්ගතය. ආහාර මාර්ගය හා ස්වසන මාර්ගය එකිනෙක සම්බන්ධ නිසා මෙම බැක්ටීරියා අතර ස්වසන මාර්ගය ආශ්‍රිත රෝගකාරක බැක්ටීරියා හා වෛරසද මිලියන ගණනින් ඇත. ( සාමාන්‍යයෙන් ඛේටය එක මිලි ලීටරයක ක්ෂුද්‍යජීවීන් මිලියන 500 පමණ ඇත).

මුඛයේ ඇති ප්‍රධාන ඛේට ග්‍රන්ථි 3කින් හා අවශේෂ ග්‍රන්ථි ඉතා විශාල ගණනකින් නිපදවෙන ඛේටය ස්‍රාවය වීම සිදුවන්නේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියේ පාලනයෙනි. සාමාන්‍යයෙන් දිනකට ඛේටය 0.75-1.5L ප්‍රමාණයක් ඛේට ග්‍රන්ති වලින් නිපදවයි. ආහාර පිලිබද සිතුවිල්ලකදී, අපුල දෙයක් දැකීමේදී, මහන්සි වී සිදුකෙරෙන වැඩක් අතරතුරදී, දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනයේදී ඛේට ශ්‍රාවය වැඩිවේ.

ඇතමුන් අපුලට කෙල ගසති. සමහරු පුරුද්දට කෙල ගසති. තවත් සමහරු සෝබනේට කෙල ගසති. ඇතමෙක් ඇස් වහ කටවහ වලට බියෙන් කෙල ගසති. තවත් අයෙක් තරහව, අප්‍රසාදය පෙන්වීමට කෙල ගසති.මේ කවුරුත් අවසානයේ තමාගේ ශරිරියේ ශ්ලේශ්මල අති විශාල බැක්ටීරියා ප්‍රමාණයක් සමග අවට පරිසරයට එක් කරති.

බල්ලන් තම සීමා මායිම් ලකුණු කිරීමට මුත්‍රා කරන ආකාරයෙන්ම මිනිසුන් තම සීමාව හා බලය පෙන්වීමට කෙල ගැසීම යොදා ගන්නා බව ඇතැම් සමාජ විද්‍යාඥයන් පෙන්වා දී තිබේ. පිරිමින් අතර කෙල ගැසීම ගැහැණුන්ට වඩා බහුල වීමට මෙය හේතුවක් විය හැකි බවට ඔවුන් ප්‍රකාශ කරති. මන්ද බලය, සීමාව පිලිබද වැඩි අවධානයක් තිබෙන්නේ පිරිමි පාර්ශවය අතර බැවිනි.

ප්‍රසිද්ධ ස්ථාන වල කෙල ගැසීම කෙතරම් අශෝබන ක්‍රියාවක්ද යන වග අපි මේ ලිපිය මුලදී කතා කලෙමු. යමෙක් ඇවිදින් ඔබේ සාලයේ කෙල පිඩක් හලා ගියහොත් ඔබට ඇතිවන්නේ කුමනාකාරයේ හැඟීමක්ද? පොදු ස්ථානයක කෙල ගසනු දැකීමෙන් අන්‍යන්ට දැනෙන හැඟීම ඊට කිසි ලෙසකින් වෙනස් නොවේ.

ඛේටය සමඟ වාතලයට මුසුවන ක්ෂුද්‍රජීවීන් මඟින් ඇතිවන සෞඛමය අවදානම කිසි ලෙසකින් අවතක්සේරු කල හැකි නොවේ. හැදියාවක් නැති මිනිසෙකුගේ ක්‍රියාවකින් වාතලයට පිවිසන පිවිසෙන මිලියන ගණනක් වූ බැක්ටීරියා හා වෛරස විවිධ ස්වාභාවික තත්ව යටතේ පරිසරයේ ‍රැදී සිටිමින් තවත් අයෙකුගේ ආශ්වාස වාතය හා ඔහුගේ සිරුරට ඇතුලුවී රෝගය ව්‍යප්ත කරති. ක්ෂය රෝගය ප්‍රමුඛ කර ගත් සිය ගණනක් වූ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග තම ව්‍යප්තිය තහවුරු කර ගන්නේ එපරිද්දෙනි. (ක්ෂය රෝග කාරක TB බැක්ටීරියාව හා අනෙකුත් බොහෝ ක්ෂුද්‍රජීවීන් දැඩි සූර්ය රශ්මිය හමුවේ විනාශ වේ. එනමුදු අදුරු, සීතල තැන් වලට මුදා හැරෙන මෙම ජීවීන්ට කාලයක් පුරාවට සක්‍රීයව හිදිමින් රෝගය සම්ප්‍රේෂණය කල හැක.)

දුම්පානය කරන්නන්ට පොදු ස්ථාන වල හිදිමින් දුම් පානය කරමින් අවට පරිසරය දූෂණය කිරීමට හා අවට සිටින්නන්ට බලහත්කාරයෙන් අක්‍රීය දුම්පානය සිදුකරවීමට නීතියෙන් අවසර නැත. එසේ නම් කෙල ගසන්නන්ට පොදු ස්ථාන වල කෙල ගසමින් භයානක විසබීජ වලට හුදී ජනයා නිරාවරණය කිරීමටද නීතියෙන් අවසරයක් නොතිබිය යුතුය.

කෙසේ නමුත් මෙවන් පුරුදු නීති රීති මගින් වෙනස් කල හැකියැයි සිතීම උගහටය. අවශ්‍ය වන්නේ ආකල්පයමය වෙනසකි.

තමා ගැන මෙන්ම අනුන් ගැනද සිතීමට හුරු කරවන ආකල්පමය වෙනසකි.

Tuesday, March 29, 2011

අපේ බුදුන් අපි වැන්දා....පෙරලි පෙරලි අපි වැන්දා....

සිරිපා වන්දනා කලෙමි. අති පූජනීය, මහත් ශ්‍රද්ධාවෙන් වන්දනා කල යුතු, අනුහස් වලින් පිරි පූජා භූමියක් වන්දනා කලෙමි.

මේ මා සිරිපා කරුණා කල පලමු අවස්ථාවයි. යමෙක්, යමක් පිලිබද යහපත් හෝ අයහපත් ආකල්පයක් ඇතිවන්නේ එය දකින කියන පලමු අවස්ථාවේ සිතෙහි පහල් වන හැගීම් දැනීම් අනුවය. ඒ අනුව මා අත්වින්දේ මා අසා දැන සිටි පුණ්‍ය භූමිය නොවන බව මගේ වැටහීමයි. කොටින්ම සිත කලකිරවන, පිලිකුලට පත්කරන බොහෝ දෑ හැරෙන්නට සිත නිවන සනහන දෑ ඉතාමත් අල්ප විය. මාගේ එම වැටහීම නිවැරදි නොවේනම් සමන් දෙවිඳු මට සමාව දෙත්වා! එසේම සිරිපා කිහිප වතාවක් කරුණා කල ඔබේ වැටහිම මීට වඩා වෙනස් වනු ඇත. එසේ නම් පහත සදහන් සිදුවීම් මා සිරිපා කරුණා කල දිනයේදී පමණක් සිදුවූ අහඹු සිදුවීම් වෙන්නට ඇත. එයද එසේනම් ඔබද මට සමා කරත්වා!

අප සිරිපා කරුණා කලේ හැටන් පාරෙනි. නල්ලතන්නියේ වාහනය ගාල් කර ගමන් ආරම්භ කල අප මුල් හරියේදී නා නා ප්‍රකාර කඩ වීදි පසු කලෙමු. කරුණා කීරිමට අවශ්‍ය ඇදුම් පැලදුම් හා ආයිත්තම් පහසු මිලකට ලබා ගැනීමට ඒමගින් අවකාශ ලැබුනි. දෙරණ FM නාලිකාව මගින් ගෙන ගිය විකාශය අතිශය ප්‍රයෝජනවත්, හරවත් හා කාලෝචිත විය. මඟ හැරුන පුද්ගලයන්ගේ නම් ගම් කියවීම හැරුනු කොට ශ්‍රී පාද පුද බිම ආශ්‍රිත ඉතිහාසය, වතාවත්, දහම් කරුණු, බුද්ධාලම්බන ප්‍රීතිය දනවන ගීත, ගමන පුරා හැසිරිය යුතු ආකාරය ඒමගින් ඉතා අපූරුවට ප්‍රචාරය විය. මේ සියල්ල සමගින් දෙයියනේ කියා අපි රාත්‍රී 8.30 පමන කරුණා කිරීම ඇරඹුවෙමු.

සර් ජෝන් කොතලාවල මැතිඳු ශ්‍රී පා මලුවට වූ භාරයක් ඔප්පු කිරීම වස් ඉදිකරන ලද මකර තොරණ පසුකරත්ම අපට හමු වූයේ සමන් දේවාලය යැයි කියා ගනිමින් සුමන් සමන් දෙවිඳුට නිගා දෙන තැනකි. බොහෝ බැතිමතුන් එහි නැවතී සමන් දෙවිඳුට භාර වී එහි වූ පහනින් තෙල් ස්වල්පයක් හිසෙහි තවරා ගෙන ශ්‍රද්ධාවෙන් ගමන අරභති. එහෙත් එහි සිටින කපු මහතාට මෙය එතරම් දිරවන්නේ නැත. ඔහු ආශිර්වාද නූලක් බැන්දවීමට යන එන ජන ගඟට ඉවරයක් නැතිව කෑ ගසයි. එය ප්‍රයිවට් බසයකට සෙනඟ Load කරන කොන්දොස්තර කෑ ගැසීමකට හෝ පේමන්ට් එකේ බඩු විකුනන වෙලෙන්දෙකුගේ කෑ ගැසීමට නොදෙවනිය. නූල ගැට ගසන ගමන් නියෝගාත්මක හඩින් ආධාරයක් කරන ලෙසද එසේ නැතිව යන්නට ලෑස්ති නොවන ලෙසද තර්ජනය කරයි. එය හරියටම ඉතා අඩුවට බෙල්ට් එකක් විකුනා ඒ විගසම එහි හිල් ටික විද, හිල් විදීම සදහා අස්ප ගණන් ඉල්ලන හා එය ගෙවීම ප්‍රතික්ශේප කරන කල්හි පාරිභෝගිකයාට තග දමන පිට කො‍ටුවේ පේමන්ට් වෙලෙන්දෙකුගේ බිස්නස් trick එකක් වැනිය.

ඉන් අනතුරුව එලඹෙන්නේ සිරි පා කරුණා කිරීමට මත්තෙන් පන්සිල් සමාදන් වීමට ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසටය. එහිද තවත් වෙලදාමකි. Non stop කැසට් පටයක් මෙන් ඉතා වේගයෙන් පිරිස පංචශීලයෙහි පිහි‍ටුවන චීවරධාරියා ( උන්නාන්සේට ස්වාමීන් වහන්සේ කීමට මට සිත දෙන්නේ නැත) ඉනික්බිති කපු කමට බසී. එහිදී සෝවාන් පලයට පවා පත් වූ සුමන් සමන් දෙවිඳුන්, ඉතා බියකරු කාලි දෙවඟන වැනි පලි ගන්නා දෙවියෙක් ලෙස චිත්ත රූපයක් සැදැහැවතුන්ගේ සිතේ නිර්මාණය කරමින් තම මූලික කර්තව්‍යට එලඹෙයි. මුදල් නොදී මග හැර යාමට සූදානම් නොවන ලෙස දන්වමින් සැමට ආධාර කරන ලෙස දන්වයි. මොහොතකට පෙර බියකරු කතා ඇසූ හුදී ජනතාවට තවත් කතා කුමටද? කට්ටියම පෝලිමේ ආධාර කිරීමට පෙල ගැසේ. සැදැහැ සිතින් ආධාර කිරීම යහපති. නමුත් මේවායේ සිදුවන්නේ දෙවියන් බුදුන් විකුණමින්, බිය වැද්දීම් සිදුකරමින් කෙරෙන් මුදල් මංකොල්ලයකි.

තවත් දුරක් ගිය තැන තවත් චීවරධාරියෙක් බැම්මක් උඩ වාඩි වී ඉතා ග්‍රාම්‍ය ලෙස ජනතාවට පසකින් පෙනෙන වෙලද කුටි කිහිපයක් පෙන්වමින්, එතැනට ගොස් ආශිර්වාද නූලක් පලදවා ගන්නා ලෙස දන්වයි. එය කිසිසේත්ම ස්වාමීන්වහන්සේ නමක් විසින් වදාරන සෞම්‍ය භාෂා විලාශය නොවේ. යන එන ගැහැණු ළමයින්ට විහිලු කරමින් ඔහු එතැන විකාර රූපී රංගනයක් කරයි. තවද ඔහු පෙන්වන ඒ කුටි වලදීද සිදුවන්නේ නැවතත් පිරිත් කලා යැයි පවසමින් නා නා වර්ණ නූල් අත පලදා මුදල් ඩැහැ ගන්නා ව්‍යපාරයකි.

මග දිගට විවිධ වෙලඳ ආයතන වලින් පවත්වන් දන්සැල්, සහන සේවා තිබුනි. තම වෙලඳ නාමය ප්‍රචලිත කර ගැනීම් ඔවුන්ගේ අභිප්‍රාය වුවද ඒ සෑම දන්සැලක්ම, සහන සේවාවක්ම සිය උපරිම සේවා සත්කාරය බැතිමතුන්ට ලබා දුන්හ. Dialog කතා දන්සැල, Samahan බාම් දන්සැල, Panadol හදිසි අනතුරු හා වෛද්‍ය ඒකකය ඒ අතර ලෙංගතු සේවා සැපයූවන් වූහ. ඊනියා (සිද්ධාලේප) වෙදා නම් එහිදීද වෙලද කටයුතු නිර්ලජ්ජී ලෙස සිදු කරමින් සිටියේය.

සීත ගඟුලෙන් පසු අපි මහා ජන ගඟකට මැදි වුනෙමු. නගින නඩත්, නැගල බහින නඩත් අතර මහා තදබදයකි. අපේ මිනිසුන්ට මූලික විනයක්, හික්මීමක්වත් නොමැති බව මට තවත් වරක් සැක හැර දැන ගැනීමට අවස්ථාව ලැබුනි. දකුනෙන් ගමන් කිරීමට පාසැල් යන කාලයේ සිටම හුරු කරවයි. රෝහල්, බස්-දුම්රිය නැවතුම්පලවල්, බැංකු වල දකුනෙන් ගමන් කරන ලෙස දන්වා බෝඩ් එල්ලා තිබේ. අඩි සටහන් ලකුණු කර තිබේ. එමගින් තදබදය ඉතා අවම කර ගත හැක. මන්ද දෙපැත්තටම ගමන් කරන්නන්ට මාර්ගය අවහිර නොවන බැවිනි. නමුත් ඒ සරල විනයවත් මා එකී ජන ගඟ තුල දු‍ටුවේ නැත. එම නිසා අඩියක් හෝ පෙරට තැබිය නොහැකිව තදබදයේ හා සීතලෙන් මිරිකි මිරිකී සිටීමට සැමට සිදුවිය. ඉතා විශාල පිරිසක් ඉහලටද, එපමනම පිරිසක් පහලටද ගමන් කරමින් සිටියහ. ඒ අනුව පහලට බසින්නන්ටද මාර්ගයේ සමාන ඉඩක් ලබා දිය යුතුව තිබුනද එම රීතිය ගරු කිරීමට බොහෝ දෙනෙක් මැලි වූහ. තවත් පිරිසක් පහලට බසින්නන්ටද ඉඩ ලබා දීමට පේලි දෙකක් පමනක් සෑදෙන්නැයි talks issue කරමින් ඔවුන්ම තවත් තුන්වැනි පලියක් නිර්මාණය කරමින් ඉදිරියට යමින් මග ඇහිරූහ. එක් අතකට කම්පා විය යුතු නැත. ලංකාවේ සෑම තැනකම සිදුවන දේ එතැන සිදු නොවී තිබීමට කිසිදු හේතුවක් නොමැත.

සිරිපා නගිද්දී කට පරිස්සම් කරගත යුතුයැයි කියන රීතියක් මා අසා තිබේ. නමුත් එවැන්නක් සිදුවන බවක් සිතීමට පවා මට සිදුවන වටපිටාවක් එහි නොවීය. කාන්තා පාර්ශවයට නොහොඹිනා- අවර කතා කියමින්, බුදු ගුණ කවි විකෘති කර ගායනා කරමින් හැසිරෙන තරුණයන් ඇති පදම් සිටියහ. ඔවුහු දුම්වැටි බිවූහ. ඔවුන් වෙතින් මත්පැන් ගඳ වහනය විය. ඔවුන් පාලනය කිරීමට පෙනෙන හෝ නොපෙනෙන බලවේගයක් එහි නොවීය. එසේම පාලනය විය යුතු යැයි කල්පනා වීමටවත් ස්වයං විනයක් ඔවුන් තුල ඇති බවක් පෙනෙන්නට නොවීය.

සිරි පා මලුවට යන මග දෙපස, පරිසරය සු‍රැකීමේ වැදගත්කම දැක්වෙන පුවරු ප්‍රදර්ශනය කර ඇත. අඩියෙන් අඩියට කසල බදුන් ඇත. එහෙත් මග දිගටම පරිසරය අපවිත්‍ර කරමින් පොලිතීන් හා අනෙකුත් අපද්‍රව්‍ය විසුරුවා ඇත. සීත ගඟුලටද මේ අමන ‍රැලගෙන් ගැලවීමට හැකි වී නැත. එහිද පොලිතීන්, ප්ලස්ටික් බෝතල් ආදී අපද්‍රව්‍ය පා වෙමින් පවතී. මේ රටේ මිනිස්සු තනිකරම කෙලින්නේ පිස්සුයැයි කී කතාව තුන් කල් බලා කීවකි. බැතිමතුන් සිරි පා කරුණා කිරීමට මත්තෙන් නා පිරිසුදු වෙන සීත ගඟුලටද කැලි කසල දමන වසලයන්ගෙන් විනයක් බලාපොරොත්තු විය හැකිද?

‍රැය පුරා නිදි වරා අවසන උඩ මලුවට කරුණා කලෙමු. බුද්ධාලබ්භන ප්‍රීතියෙන් අති දුෂ්කර ගමන් මඟක් අවසන් කර අති උතුම් ශ්‍රී පාදය වන්දනා කිරීමට බලාපොරොත්තුවෙන් මලුවට පිවිසෙන්නන්ට එතැන සිටින පුද්ගලයන්ගේ (කපුවන් විය යුතුයැයි සිතමි) ගණන් බැලීමට සිදිවේ. තදියම් කරමින් බැතිමතුන්ගේ බෙල්ලෙන් අල්ලා ශ්‍රී පාදයට හිස පහත් කරන ඔවුහු, කුඩා දරුවෙක් අත‍රැදි මවක්, වයසක කාන්තාවක් විවිධ දුෂ්කරතා හේතුවෙන් වන්දනා මාන කිරීම අංශු මාත්‍රයකින් හෝ පමා වේ නම් රොස් හඩින් මොර දෙති. එවැනි නොහොඹිනා හැසීරීම් හමුවේ කෙතරම් පූජනිය වස්තුවක් හමුවේ වුවද පෘතංජන අපේ හිතට ක්‍රෝද සහගත සිතුවිලි නැගීම නොවැලැක්විය හැකිය.

පහලට කරුණා කරද්දී එතරම් තදබදයක් නොතිබූ බැවින් දෙයියනේ කියා ඉක්මනින් සිරිපා පා මුලට කරුණා කලෙමු. කෙසේ නමුත් මා එදා කරුණා කලේ මා දැන සිටි සිරි පා ගමන නොවේයැයි මට හැඟේ. එහි එතරම්ම අවර, නින්දිත, විනය හා රීති විරෝධී, බුදු දහමට නිගා දෙන දෑ සිදුවිය. සමන් දෙවි අඩවියේ සිදුවන මෙවැනි නොපනත්කම් ඔබ වහන්සේ ඉවසා වදාරනවාද? නැතහොත් සෝවාන් ඵලයට පවා පත්වූ කරුණාබර ඔබ වහන්සේ මෙම නොපනත්කම් හමුවේ කල කිරී මෙම පූජා භූමියෙන් පිටවී ගොස්ද? සියල්ල අවසන මා තුල ඉතිරි එම සිතුවිල්ල පමණි.

Tuesday, March 22, 2011

විකාර රූපී 8 - Live @ 8


ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නැරඹීම දඩුවමක් බවට පත් වී තිබේ.

මෙසේ කියන මා අහවල් එකකට ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නරඹන්නේද යන්නද, අකමැතිනම් වෙන චැනල් එකක ප්‍රවෘත්ති නැරඹිය හැකි නොවේද යන්නද ඔබ විමසනු ඇත.

එහෙත් එවැන්නකින් නොනැවතී මෙවන් ලිපියක් ලිවීමට තරම් චර්ම අමාරුවක් මට ඇත්තේ, Live @ 8 ආරම්භ වූ සමයේ පටන් එය නැරඹීමට මා පුරුදුව සිටි බැවිනි. එමෙන්ම එදා මෙදා තුර ස්වාධීන ප්‍රවෘත්ති කලාවක් කඩේ යන, පීචං, ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කරන ප්‍රවෘත්ති කලාවක් බවට පත්වනු රූපවහිනිය ඉදිරිපිට සිට මා නැරඹූ බැවිනි.

දැන් වැරදීමකින් හෝ එය නරඹන්නේ කියන කතා segment එක බලා අගමැතිතුමා හෝ මර්වින් ආචාර්යතුමා කියන Joke එකක් දෙකක් බලා හීන් ආතල් එකක් ගැනීමට පමනි.

හේම නලීන්ලා, අරුණ් ඩයස්ලා ආරම්භ කල විකල්ප, සංවාදශිලි, නිර්මාණාත්මක ප්‍රවෘත්ති කලාව අද අපි නොදන්න Live වැඩසටහනක මට්ටමට පත්වී තිබේ. එක අතකින් එසේ කීම අපි නොදන්න Live වැඩසටහනට කරන නිග්‍රහයකි. මන්ද අපි එය නරඹන්නේ සිනා සී ආතල් එකක් ගැන්මට බැවිනි. නමුත් ආණ්ඩුවේ නොවන නාලිකාවක ප්‍රවෘත්ති අප නරඹන්නේ රට තොට සිදුවන දෑ ගැන නිවැරදි අවබෝධයක් ගැනීමට, ප්‍රවෘත්ති වටිනාකමක් ඇති යමක් නැරඹීමට මිසක් ආතල් ගැනීමට, කවි ඇසීමට හෝ ප්‍රශස්ති ගායනා වලට කන් දීමට නොවේ.

දින වකවානු හරියටම මතක නැතත්, Live @ 8 ආරම්භ වූයේ අනූව දශකයේ අග භාගයේ බව මට මතකය. එවකට සතියට දින තුනක් පමනක් විකාශනය වූ එය නිර්මාණශීලී කලාවක් විය. රට පිලිගත් මාද්‍යවේදීන් දෙපලක් සංවාදශීලී ලෙස ගෙවුන පැය 48 තුල සිදුවූ දෑ නරඹන්නන්ට ඉදිරිපත් කලේය. එය සාම්ප්‍රදායික ප්‍රවෘත්ති කලාව නොවීය. නමුදු විකල්ප, නැවුම් කලාවක් විය. ඔවුන් අනුගමනය කල රාමුව තුල එකී සංවාදාත්මක කලාව ගෝචර විය.

ලැබූ ජනප්‍රියත්වය කරණ කොට ගෙන එය පලමුව සති අන්තයටත්, ඉක්බිතිව මුලු සතිය පුරාත් විකාශනය වන වැඩසටහනක් බවට පත් විය. සතියේ දින සතටම ව්‍යප්ත වූ කල live & 8, ප්‍රවෘත්ති නිවේදකයන් දෙදෙනෙකු ඉදිරිපත් කරන සාම්ප්‍රදායික ප්‍රවෘත්ති කලාවක් බවට පත්විය.

එනමුදු තවදුරටත් එය අභීත, ස්වාධීන ප්‍රවෘත්ති කලාවක් විය. නිර්මාණශීලී ප්‍රවෘත්ති කලාවක් විය. ඔවුන් පක්ෂ, විපක්ෂ සැමට සමතැන දුන්නේය. ප්‍රවෘත්තිය අතරතුර තිරය පහලින් අදාල ප්‍රවෘත්තියේ සාරාංශය වැදගත් ග්‍රාම්‍ය නොවන සරල බසකින් පෙන්වීම ආරම්භ කලේ ඔවුන්ය. කොටින්ම කියතොත් රාමුව වෙනස් කලද විහිලු නොසයපා, වගකිවයුතු අයුරින් ප්‍රවෘත්ති වටිනාකමක් ඇති පුවත් සපයමින් නැරඹිය යුතු යැයි ප්‍රේක්ෂකයාට දැනෙන මට්ටමට ලඟා වීමට ඔවුනට හැකි විය.

යුද්ධය පැවති කාලයේ ස්වකීය මාධ්‍යවේදීන් යුධ බිමට යවා යුධ පුවත් වාර්තාකරණයේ ඉහල මට්ටමකට ඔවුන් පත්විය.

හරියටම ඉරක් ගසා මෙතනින්යැයි වෙන් කල නොහැකි වුවද මෑත කාලයේ සිට ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති පරාධීන, මාධ්‍ය ආචාර ධර්ම තුට්‍ටුවකට මායිම් නොකරන, විහිලු සපයන අංගයක් බවට පත්වී තිබේ.

සත්‍යය පලමුව අප වෙත ගෙන ඒමට වලි කන ඔවුන්ට Megastar වැඩසටහනේ අවසානයේ සිදුවූයේ කුමක්දැයි පවසා ගත නොහැකි තරමට අසරණ විය.අවසානයේ පලමුව කෙසේවෙතත් පැය 12-13 ගත්වූ තැන විකාශනය වූ ප්‍රවෘත්ති විකාශනයේදී ඔවුන් ප්‍රකාශ කලේ උක්ත තරගය අතිඋත්කර්ශවත් අන්දමින් නිමාව දු‍ටු බවය. එහි උත්කර්ශවත් නිමාව හා ප්‍රවෘත්තියේ සත්‍යතාව ගැන මතක් කරද්දී සිනහ වීමට හිදගෙන සිටින පු‍ටුවෙන් මදක් එසවිය යුතුය.

වර්තමානයේ පුවත් විකාශය තුල ආණ්ඩුවට හා විපක්ෂයට ලබා දී ඇති කාල ගැන බලද්දී විටක මට සිතෙන්නේ මේ නරඹන්නේ ආණ්ඩුවේ හොරණෑවක්ද යන්නය. ප්‍රවෘත්ති වටිනාකම කෙතරම් අඩුවුවද පලමු විනාඩි 5 පමණ ගතවෙන්නේ ජනාධිපතිතුමා කෑ හැටි, බිව් හැටි, උදාන වාක්‍යක් පාරම් බෑ හැටි පෙන්වීමටය. බොහෝ විට එදින වැදගත්ම ප්‍රවෘත්ති ගොනු වන්නේ "රටම කෙටියෙන්" අංගයටය. විපක්ෂ මාධය සාකච්චාවකට, උද්ඝෝෂණයකටද ඊට මෙහා ප්‍රවෘත්ති වටිනාකමක් නොලැබෙන තරම්ය.

හරේන්ද්‍ය කවි කියයි. ප්‍රවෘත්තිය ඔහුම විශ්ලේෂණය කර ඔහුට හිතෙන නිගමනය කවියෙන් හෝ, සී පදයකින් හෝ, හඩන්නට ඔන්න මෙන්න වූ මුහුණකින් කියයි. රටේ ප්‍රේක්ෂක ජනතාව යනු ප්‍රවෘත්තියක සිදුවීම නරඹා, අසා, ඒ පිලිබද ස්වකීය මතයක්, නිගමනයක් ගොඩනගා ගත නොහී අමන ‍රැලක් ලෙස ඔහු සිතා ගෙන ඇති අයුරකි. එක අතකට තමා ඉදිරිපත් කරන ප්‍රවෘත්ති විකාශය මුව අයා බලා සිටින්නන් ගැන ඔවුනට එවන් තක්සේරුවක් තිබීම ගැන ඔවුනව වැ‍රැද්දක් පැවසීමටද නොහැක. මාධ්‍යකරුවන්ට සිද්ධි වාර්තා කිරීම හැර ඒ පිලිබද තම මතිමතාන්තර නරඹන්නන්ට පොවන්නට සදාචාරාත්මක අයිතියක් නැත. ඒ අතින් සිරස ඉදිරියෙන් සිටී. ඔවුන්ගේ ප්‍රතිපත්තිය වනාහි, We Report, You Decide යන්නය. තීරණාත්මක, විවාදාත්මක අවස්ථාවලදී අදාල රූපරාමු පමනක් පෙන්වනව හැරෙන්න ඒ පිලිබදව අ‍ටුවා ටීකා කියා ප්‍රේක්ශකයන්ගේ තීරණය කිරීමේ නිදහසට ඇගිලි ගසන්නට ඔවුන් උත්සාහ කරන්නේ නැත.

මුලදි ඔවුන් විසින්ම හදුන්වා දුන්, ප්‍රවෘත්තිය යටින් දිස්වන පාඨයන්ද දැන් දැන් ග්‍රම්‍ය භාෂාවට පත්වෙමින් තිබේ. අපි කුඩා දරුවන් සමයේ ප්‍රවෘත්ති ඇසුවේ ව්‍යාකරණ, නිවැරදි වචන උගන ගැනීමේද පරමාර්තයෙනි. පසු කලක සිරස විසින් කතා කරන භාෂාවේ ප්‍රවෘත්ති කලාවක් ආරම්භ කලේය.එවකට එය අතිශයෙන්ම විවේචන වලට ලක්විය. එනමුදු දැන් දැන් ස්වර්ණවාහිනිය තව තවත් දුර යමින් උප සංස්කෘතිය ග්‍රාම්‍ය භාෂා විලාශයකට මාරු වී ඇත. වචන හරියම මතක නැතත්, විලියම් හා කේට් විවාහ ගිවිස ගැනීම ප්‍රකාශ කල ප්‍රවෘත්තියේ පහලින් දර්ශනය වූ වැකි අතිශය ග්‍රාම්‍ය විය.

යුද්ධය අවසන් වත්ම සියලුම රූපවාහිනී නාලිකා වලට ප්‍රවෘත්ති හිඟ විය. සිරස එම අඩුව පුරවා ගත්තේ රනිල් එලවන විවිධ මෙහෙයුම් අරඹමිනි.Live @ 8 එම අඩුව පුරවා ගැනීමට විවිධ නාට්‍යමය ජවනිකා හදුන්වා දෙන්නට පටන් ගත්තේය. දැන් දැන් Live @ 8 නරඹනවා යනු විවිධ segments වලින් යුතු අපි නොදන්න Live වඩසටහනක් බලනවා වැනිය. දවසේ වැ‍රැද්ද ලෙස වැඩ සටහනක් ආරම්භ කර ඉතා බහුලව සිදුවන, -විශේෂයෙන්ම කාර්යබහුලත්වය සමග මිනිසුන් අතින් නොවැලැක්විය හැකිව සිදුවීමට යෙදෙන- සිදුවීම් වලට කැමරාව මානා ඔවුන් ජාත්‍යන්තර මට්ට්මේ අපරාධකරුවන් බවට පත්කරමින් Live @ 8 ඇත්තෝ හීන් ආතල් එකක් ගනිති. ඉතා කලාතුරකින් පෙන්වදෙන වරදි සැබවින්ම වැරදි ලෙස පිලිගෙන නිවැරදි කර ගත යුතු වුවද, එම විශේෂාංගයේ පෙන්වන අති බහුතරයක් වූ සිදුවීම් ඇතැම් විට ඔවුන් පවා සිදුකරන ඉතා සරල මට්ටමේ සිදුවීම්ය. කහ ඉරෙන් පාර මාරුවන්නේ නම් යෙහෙකි. නමුදු සැම සියලු විටම කහ ඉරි සොය සොයා ලතවෙන්නට මිනිසුන්ට වේලව නැත. සුරක්ෂිතව වෙනත් ස්ථනයකින් පාර මාරු විය හැකිනම් එය අපරාධයක් නොවේ. මූණට කැමරාව මානා මිනිසුන් අපහසුතාවයට පත්කිරීමට Live @ 8 ඇත්තන්ට අසීමිත ආශාවක් තිබේනම් ඔවුන් කල යුත්තේ රටේ සිදුවන මහා පරිමාන දූෂණ, වංචා ගැන වගකිව යුතු මාධ්‍යක් ලෙස සොයා බැලීම නොවේද?

දැන් දැන් Live @ 8 නාට්‍යමය ජවනිකා වලින් පිරී යමින් පවතී. එහි කූටප්‍රාප්තිය ලෙස මේ වන විට "අකමැති මතක" ලෙස නාට්‍යමය විශේෂාංගයක් ඊට එකතුවී ඇත. සිපිරි ගෙයි ‍රැදවියන්ගේ අත්දැකීම් ඇසුරෙන් නිපදවෙන එය දැන් දැන් Live @ 8 වල ප්‍රවෘත්ති ඌණතාවයට ගොඩ දැමීමට ලැජ්ජාශීලී ලෙස භාවිතා වෙමින් පවතී. එහි රගපෑම සදහා නවකයන්ට දැන්වීම් පලකරන්නේද ප්‍රවෘත්ති විකාශය අතරතුර දීමය. සමාජයට පාඩම් ඉගැන්වීමටයැයි පවසමින් අවසානයේ හිරිකිත අත්දැකීම් වෙන්දේසි කිරීමට තරම් ස්වර්ණවාහිනිය නිර්ලජ්ජී වී තිබේ.

විපක්ෂයේ පුවත්, විදෙස් පුවත් වලට සාධාරණ ඉඩක් ලබා දෙන්නේ නම් හරේන්ද්‍ය ඇතුලු නඩයට මෙබදු විකාර රූපී විශේෂාංග වලින් ප්‍රවෘත්ති විකාශය පිරවීමට අවශ්‍ය නොවනු ඇත. එක අතකට ලංකාවේ හරක් ‍රැල අනුන්ගේ කුනු කතා රස කර කර අනුභව කරනතාක් කල් Live @ 8 ‍රැලට තම අමනකම් තෙරුම් ගැනීමට අවශ්‍යතාවක් ඇති නොවනු ඇත.

මෙය කියවන ඔබට තවමත් Live @ 8 යනු නැරඹිය හැකි මට්ටමේ ප්‍රවෘත්ති විකාශයක් වීමට පුලුවන. එහෙත් ආරම්භයේ සිට Live @ 8 ගමන් මග දු‍ටු මගේ මතයට ඔබද නොබෝ දිනකින්ම එකඟ වනු ඇත. මන්ද යත්, ප්‍රේක්ශක ජනතාවට එසේ සිතීම වැලැක්වීමට live @ 8 නිෂ්පාදකත්වයට කිසිදු අවශ්‍යතාවක් ඇති බවක් පෙනෙන්නට නොමැති නිසාවෙනි. ඊට වඩා ආණ්ඩුවට කඩේ යාම ආතල්ද කියා දන්නේ එහි නිෂ්පාදකත්වක හා පරිපාලනය පමනි.

Related Posts Plugin for WordPress, Blogger...