ගබ්සාව යන වදන අප සංස්කෘතියට අනුව අපට එතරම් ශිෂ්ඨසම්පන්න නොවූවද, අවාසනාවකට අද සමාජයේ එය ප්රධාන ප්රශ්නයක් බවට පත්වී තිබේ. නිර්මල බුදු දහම රදා පවතින ධර්ම රාජ්යයේ මෙම ප්රශ්නය කෙතරම් ඔඩු දුවා අත්දැයි කිවහොත් දැනට වර්ෂයකට ශ්රී ලංකාව තුල සිදුවන ගබ්සා ප්රමාණය 175,000 පමණ වේ.එය ශ්රී ලංකාවේ වාර්ෂික උපත් ප්රමාණය වන 335,000න් හරි අඩකට ආසන්න වේ. තවත් අයුරකින් අර්ථ නිරූපණය කලහොත් සෑම උපත් දෙකකටම වරක් නීතිවිරෝධී ගබ්සාවක් රටේ කොතැනක හෝ සිදුවේ. ගබ්සාව නීතියෙන් තහනම් රටක, ප්රමිතියකට නොවූ ප්රතිකාර ක්රම තුලින් මෙතරම් ගබ්සාවන් ප්රමාණයක් සිදු වීම තුල කෙතරම් කාන්තාවන් සංඛ්යාවකගේ ජීවිත වාර්ෂිකව අවදානමට පත් වේදැයි අමුතුවෙන් පැහැදිලි කල යුතු නොවේ. එබැවින් අප විසින්ම පැනවූ නීති රීති, සමාජ සම්මත තුල අපේක්ෂිත ප්රතිඵල නොලැබීම හා අවසන සියල්ල හොර පාරෙන් සිදුවී අසරණ කාන්තාවන් සිය ජීවිත අවදානමකට ලක් කර ගැනීම තුල එකී නීති, සමාජ සම්මතයන් හා ආකල්ප පිලිබදව නැවත විමසා බැලිය යුතු කාලය එලබ ඇත.
ඒ පිලිබදව විමසා බැලීමට මත්තෙන් ගබ්සාව,ගබ්සා නීතිය හා ඊට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වන මත පිලිබදව අවබෝධයක් ලබා ගැනීම වටී.
ගබ්සාව නීතිය ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට එක් වූයේ 1883දීය!!. එහි සදහන් වන ආකාරයට ගබ්සාවක් සිදුකිරීම නීතියෙන් අනුමත කල හැක්කේ කළලය කුස දරා සිටීමේදී හෝ ප්‍රසව ක්‍රියාවලියේදී ඉන් මවගේ ජීවිතයට හානියක් වේනම් පමණි.ඒ අනුව ශ්‍රී ලංකාව මවගේ ජීවිතය අවදානම් වන අවස්ථාවකදි පමණක් ගබ්සාව නීතියෙන් අනුමත කරන ලෝකයේ රටවල් 21% ප්‍රතිශතයට අයත් වේ. (ලෝකයේ රටවල් අතුරින් 61% ගබ්සාව නීතියෙන් අනුමත කර ඇත!)
පවතින ගබ්සා නීතිය සංශෝදනය කර ස්ත්‍රී දූෂණයකින් පසුව, කළලයේ විකෘතිභාවයක් ඇති බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වූ විට හා මවගේ ජීවිතයට අවධානමක් ඇති විට ගබ්සාව සිදුකල හැකි පරිදි යෝජනාවක් 1995දී ඉදිරිපත් වුවද එය සම්මත වූයේ නැත.
කළලයක ජීවය ආරම්භ වන්නේ සංස්ලේචනය සමගින් බවත්,සංස්ලේචන ක්රියාවලිය තුලදීම කළලයට අනන්‍ය වූ DNA නිපදවෙන බවත්, එම නිසා සංස්ලේචනයෙන් පසු කවර හෝ අවස්ථාවක සිදු වන ගබ්සාව වනාහි වරදක් නොමැති ජීවියෙකුගේ ප්රාණය උදුරා ගැනීමේ සදාචාර විරෝධී ක්රියවක් බව ගබ්සාවට විපක්ෂ පාර්ශවය ඉදිරිපත් කරන ප්රධානතම කරුණය. තවද යමෙකු ගර්භනී මවක ඝාතනය කිරීම,ගර්භනී නොවන කාන්තාවක් ඝාතනය කිරීමට වද දැඩි දඩුවම් පැමිණිය හැකි වරදක් ලෙස නීතියෙන් අර්ථ දක්ව ඇති තත්වයක් තුල, ගර්භනී කාලයෙන් ස්වායක්තව කළලය තවත් ජීවියෙකු ලෙස සලකන බව ඔවුන් පෙන්වා දේ.
ගබ්සාවට පක්ෂ පාර්ශවය මේ පිලිබදව දක්වන අදහස වනුයේ සංස්ලේචනයේ සිට සති 24 පමණ වනතුරු කළලය ස්වකීය සියලු මූලික ජීවී අවශ්යතා සදහා මව මත යැපෙන බැවින් එතෙක් එය වෙනත් ජීවියෙකු ලෙස සැලකිය නොහැකි බවය.
කෘතීම සංස්ලේචනය හෙවත් In vitro fertilization ක්රියාවලියේදී ඩිම්බ කිහිපයක් ශුක්රාණු කිහිපයක් හා වෙන වෙනම සිරුරෙන් පිටතදී මුහුකර ඉන් සෑදෙන යුක්තානු අතරින් වඩාත්ම නිරෝගී කළලය තෝරා ගෙන එය මවගේ ගර්භාශයේ තැම්පත් කෙරේ. එහිදී ඉතිරි කළල වලට සිදුවන්නේ ජීවයක් නොලබා ඉවත් වීමටය. කළලය යනු ජීවයේ ආරම්භය නම් උක්ත ඉවතලන කළල කිහිපය යනු සමූහ මිනී මැරුමකි. කරුණු කාරණා එසේ වන විට ගබ්සාවට විපක්ෂ උදවිය කෘතීම සංස්ලේචනය ක්රියාවලිය හෙලා නොදැකීම ගැටලු සහගත වේ.
තවද සිය සිරුරේ අයිතිය සෑම පුද්ගලයෙකුටම ඇති නිසා කාන්තාවට සිය සිරුරේ ප්රජනක අයිතිය හා පාලනය වෙනුවෙන් කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැති විය යුතුය. ඒ අනුව කළලය තමාට අනවශ්‍ය නම් එය ඉවත් කිරීමට කාන්තාවට අයිතියක් තිබිය යුතුය. නමුදු එම සංකල්පය ඔස්සේම විමසූ විට උපත් පාලන ක්රම භාවිතයෙන් හෝ ලිංගිකව එක් නොවීම තුලින් අනවශ්‍ය ගැබ් ගැනීමෙන් වැලකීමද සිරුරේ අයිතිය හා පාලනය යන සංකල්පයටම අයත් වේ.
ගබ්සාවට පක්ෂ පාර්ශව මූලිකම මතු කරන කාරණය වන්නේ එය ස්ත්රී දූෂණයකදී හෝ අපචාරයකදී වින්දිතයන්ට ලබා දිය හැකි සහනයක් ලෙසය. නමුදු ඊට විපක්ෂ පාර්ශවය සදහන් කරන්නේ එවන් අතවරයකට පසුව වුවද හදිසි උපත් පාලන පෙති භාවිතයෙන් අනවශ්‍ය ගැබ් ගැනීම් වලකා ගැනීමට ඕනෑ තරම් ඉඩ ඇති බවය. දූෂකයාට දඩුවම් කරනවා මිසක දූෂණයේ ඵලයක් වූ අහිංසකයෙකුට දඩුවම් කිරීම ඵල රහිත බව ඔවුන් පෙන්වා දේ. නමුත් දූෂණයක්/අතවරයකට පසු කාන්තාව මුහුණ දෙන මානසික පීඩාව ගැන මොවුනට අවබෝධයක් ඇති සැටියක් නැත. තමන් මුහුණ දුන් අනපේක්ෂිත ව්යසනය හමුවේ දැඩි මානසික කම්පනයකට -Post traumatic stress disorder- පත් වන ඇය බොහෝ වේලාවට එම සිදුවීම පිලිබද කතා කිරීමට, නැවත සිහි කැදවීමට පවා බිය වේ. එවන් මානසික පසුබිමක් තුල හදිසි උපත් පාලන පෙති ලබා ගැනීම මඟ හැරීම අතිශය සාමාන්‍ය සිදුවීමක් ලෙස මිස වින්දිතයාගේ වරදක් ලෙස නොසැලකිය යුතුය. තවද මෑත කාලීනව ගබ්සාව ආශ්රිත නීති පිලිබද දැනීම, ආකල්ප පිලිබදව ගර්භනී මවුවරු සහභාගී කර ගනිමින් සිදුකල සමීක්ෂණයකදී 75% මවුවරු පවසා ඇත්තේ මවගේ ජීවිතයට අනතුරක් වන අවස්ථාවකදී, ස්ත්රී දූෂණයකදී හෝ අපචාරයකදී, මවට දරුණු මානසික රෝගයක් ඇති අවස්ථාවන්හිදි හා කළලයේ ආබාධිත තත්වයක් තහවුරු වූ අවස්ථාවකදී ගබ්සාවක් සිදු කිරීමට හැකි පරිදි නීති රීති සකස් විය යුතු බවය. (1)
ගබ්සාව යනු ශාරීරික සංකූලතා (නැවත පිලිසිද ගැනීමකදී ගර්භාශයෙන් පිටත සිදු වන පිලිසිද ගැනීම්-ectopic pregnancy ,ස්වාභාවික ගබ්සා වීම්- Miscarriages- ,ශ්රෝණියේ ආසාදන-pelvic Inflammatory diseases-), ඇතැම් විට මරණය පවා ගෙන දෙන්නක් බව ඊට විපක්ෂ පාර්ශවය ගෙන එන කරුණකි. සැබවි. ගබ්සාවක සංකූලතා ඇතිවීමේ සම්භාවිතාව කෙරෙහි එය සිදු කරන්නාගේ වෛද්‍ය දැනුම හා හැකියාව, භාවිතා වන තාක්ෂණය හා උපකරණ, සැත්කම සිදුකරන ස්ථානයේ පිරිසුදු බව හා මවගේ සෞඛ්‍ය තත්වය, ගර්භනී කාලය යන කරුණු මූලිකවම බලපායි. ගබ්සාව නීති විරෝධී ශ්රී ලංකාවේ එය රහසේ, සම්මත තත්වයන්ගෙන් බැහැරව, නිසි පුහුණුවක් නොලැබූවන් විසින් සිදු කිරීමෙන් සිදුවන මාතෘ මරණ ප්රමාණය ලංකාවේ මාතෘ මරණ අනුපාතිකයෙන් 5-6%කට දායක වේ. ඛේදජනක තත්වය වනුයේ මෙම මරණ ප්රමාණය ඉතාමත් පහසුවෙන් අවම කරගත හැකි ප්රමාණයක් බැවිණි.
අප අසල්වැසි ඉන්දියාවේ 1972 සිට ගබ්සාව නීතිගත කර තිබුණද නිසි සෞඛ්‍ය පහසුකම් ඌන වීම තුල සිදු කෙරෙන අනාරක්ෂිත ගබ්සා ප්රමාණය වසරකට මිලියන 6.2කි!!. එය ඉන්දියාවේ වාර්ෂික ගබ්සා ප්රමාණයෙන් 92%කි. එම අති මහත් අනාරක්ෂිත ගබ්සා ප්රමාණය ඉන්දියාවේ වාර්ෂික මාතෘ මරණ අනුපාතිකයෙන් 20% වග කියයි.(2)කෙසේ නමුදු නිසි පුහුණුව ලැබූවන් විසින් සම්මත තත්ව යටතේ සිදු කරන ගබ්සාවන්හි සංකූලතා ඇති වීමේ අවදානම 0.5%ටත් වඩා අඩු ප්රමාණයකි.
ගබ්සාව යනු තවත් උපත් පාලන ක්රමයක් නොවන බව ඊට විපක්ෂ පාර්ශව ගෙන එන මතයකි.එනමුදු ඔවුන් සම්මතයැයි පවසන උපත් පාලන ක්රම පවා ඇතැම් විට අසාර්ථක වන බව පිලිගත් කරුණකි. එවන් අවස්ථාවක අනවශ්‍ය දරු ගැබක් ඉවත් කිරීමට ගබ්සාව හැර වෙනත් මඟක් වේද?තවත් අතකට එවන් උපත් පාලන බාධක පවා බිද දමා හට ගන්නේ ලෝකයටම අවශ්‍ය දරුවෙක් විය නොහැකිදැයි කෙනෙකුට තර්ක කල හැක.
ගබ්සාව පිලිබදව දැනුම, ආකල්ප හා යොමු වීමට හේතු සෙවීමට ගබ්සාවක් අපේක්ෂාවෙන් සිටින ශ්රී ලාංකික මවුවරුන් ආශ්රිතව කල සමීක්ෂණයකින් හෙලිවන්නේ බහුතරයක් තවමත් ගබ්සාව යොදා ගන්නේ උපත් පාලන ක්රමයක් ලෙස බවය. 38.6% ප්රමාණයක් මවුවරුන්ට ගබ්සාව සිදු කර ගැනීමට හේතුව වී තිබුනේ බාලම දරුවාගේ වයස අඩු වීම, දරුවන් 3කට වඩා සිටීම යන කරුණුය.(3)
බොහෝ වේලාවට ගබ්සාවට යොමු වන්නේ වයසින් හා ජීවන අත්දැකීම් වලින් අඩු කාන්තාවන් බවත්, වයසින් මුහුකුරා යත්ම තම සිදු කල දේ ගැන ඇතිවන පසුතැවීම, වරදකාරී හැඟීම නිසා ඔවුන් ජීවිත කාලයෙන් වැඩි කොටසක් දැඩි මානසික අසහනයෙන් පෙලෙන බවත් ගබ්සාවට විපක්ෂ පාර්ශවය මතුකරන තවත් කාරණවකි. නමුදු තවත් සමීක්ෂණයක් පෙන්වා දෙන පරිදි ශ්රී ලංකාවේ ගබ්සාවන් සිදු කර ගන්නා අති බහුතරය වයස 30-34 පමණ වේ. මෙය ජීවිතය ගැන තීරණයක් ගැනීමට අපහසු වයසක් ලෙස සැලකිය හැකි නොවේ.(4). තවද මුලු ගබ්සා ප්රතිශතයෙන් 10% වූ අවිවාහක යෞවනියක් වුවද දිගටම දරු ගැබ පවත්වා ගෙන යාමෙන් තරුණ වයසේදීම දැඩි චිත්ත පීඩාවකට, සමාජ අපවාදයකට ලක්වේ. සමාජය අප සිතන තරම් කාරුණික නොවේ. ඇතැම් විට ඇයට දරුවා ඇති දැඩි කිරීමට පාසල් ජීවිතයට ආයුබෝවන් කීමට සිදු වනු ඇත.සිය ජීවන ඉලක්ක සපුරා ගැනීමට නොහැකිවනු ඇත. මේ සියල්ලටමත් වඩා මුහුකුරා නොගිය ඇයගෙන් දරුවාට නිසි පූර්ව, පසු ප්රසව රැකවරණය නිසි පරිදි ලැබේ යැයි සහතික කල නොහැක. ජීවිතයේ සිදුවන එක් අත් වැරදීමක් වෙනුවෙන් ඇය තමාගේ මුලු ජීවිතයම කැප කල යුතුයැයි පැවසීම කෙතරම් අමානුශිකද?
ගබ්සාවට ප්රතිවිරුද්ධ පාර්ශ්වය පවසන පරිදි ගබ්සාවක් යනු දැඩි මානසික ආතතියකට කාන්තාව බඳුන් වන ක්රියාවලියකි. තවද ගබ්සාවකින් පසුව ඇති වන පශ්චාත් ගබ්සා අවස්ථාව යනු කාන්තාව දැඩි ලෙස මානසික අවපීඩනයකට බඳුන් වන කල පරිච්ඡේදයකි. නමුත් යම් හෙයකින් අවිවාහය යෞවනියක් අවජාතක දරුවෙකු හදා වඩා ගතහොත් ඇය හා දරුවා ජීවිත කාලය පුරාවට මුහුණ දෙන සමාජ අපවාද හා ඒ ආශ්රිත මානසික කඩාවැටීම සලකා බලනු වටී.
නූතනයේ වෛද්‍ය විද්යාව ඉතා දියුණුය. කළල අවස්ථාවේදීම ඉන් සෛල හා පටක ලබා ගෙන ජාන විද්යාත්මක පරීක්ෂණ මගින් නූපන් දරුවාට අනාගතයේ ඇතිවිය හැකි රෝගී තත්ව, ආබාධිත තත්ව පිලිබදව අනාවැකි පල කිරීමට ජාන විද්යාවට හැකිය. ඒ අනුව යම් හෙයකින් ගබ්සාව නීති ගත කලහොත් මිනිසුන් විසින් එය ආබාධිත, බුද්ධි හීන, රෝගී දරුවන් කළල අවස්ථාවේම විනාශ කිරීමට යොදා ගනු ඇත. කාගෙත් ප්රාර්ථනාව නිරෝගී, බුද්ධිමත් දරුවෙක් නොවේද? යම් හෙයකින් එය එසේ වුව හොත් අසාමාන්‍ය, රෝගී දරුවන් මෙලොව එලිය නොදකිනු ඇත. ඉන් අදහස් වන්නේ ඔවුන් ලෝකයාට අනවශ්‍ය බවද? බිහිරි Beethovan ලොවට දායාද කල මියුරු සංගීත නිර්මාණ කොපමනද? ආබාධිතයන්ට ලෝකයට අමරණීය තිලිණ දායාද කල හැකිය. ඔවුන්ටද ස්වාධීන, ආත්ම විශ්වාසයක් සහිත ජීවිත ගත කල හැකිය.
අනවශ්‍ය කළලයක් ගබ්සා නොකර විකසනය වීමට ඉඩ හැර එම දරුවා උපන් පසු දරුවන් හදා වඩා ගැනීමට රිසි කැපකරු මාපියන්ට ලබා දීම ගබ්සාවට විකල්පයක් ලෙස ගබ්සා විරෝධීන් පවසයි. නමුදු සිය කුස තුල දරුවෙකු ඇති දැඩි කර, ප්රසව අවස්ථාවද අත් විදීමේදී මව හා දරුවා අතර දැඩි ආත්මීය බැදීමක් ඇතිවන බවත් එබැවින් දරුව උපන් පසුව දරුවා මවැන් ඈත් කිරීම මවට විශාල මානසික කම්පනයක් ඇති කරන්නක් බවත් ගබ්සාවාදීන්ගේ මතයයි.
ගබ්සාවන් සිදු කිරීම වෛද්‍ය වෘත්තිකයන්ගේ දිවුරුම හෙවත්, හිපොක්රටික් දිවුරුමට පටහැනි බැවින් ගබ්සාවන් නීතිගත කිරීමෙන් එකී වෘත්තීමය රීති බිද වැටෙන බව ගබ්සා විරෝධීන් පෙන්වා දෙති.
යම් හෙයකින් ගබ්සාව නීතිගත කලහොත් එය නිදහස් සෞඛ්යයේ අංගයක් බවට පත්වේ. එවිට ඒ සදහා වැය කෙරෙන්නේ ජනතා බදු මුදල්ය. බහුතරයක් ජනතාව තමා ආණ්ඩුවට ගෙවන බදු මුදල් ගබ්සාව වැනි ( ජීවිත විනාශයක්යැයි අප සංස්කෘතිය මඟින් සිතීමට පොලඹ වූ) ක්රියාවකට යොදවනු දැකීමට කැමති වේද? එනමුදු එය නීතිගත නොකලද ඇති හැකි අය කුමන මිලක් හෝ ගෙවා තම අවශ්යතාවය ඉටු කර ගනිති. නමුත් බහුතර දරිද්රයන්ට එතරම් මුදලක් වැය කල හැකිද? නොහැකියාව විසින් අනාරක්ෂිත ගබ්සාවන්ට පොලඹවන ඔවුන්ගේ ඉරණම ගැන සංස්කෘතියේ කොතැනකවත් කතාවන්නේ නැත.අනෙක් අතට යුද්ධයට මුදල් වැය කිරීම හා නිදහස් සෞඛ්‍ය සේවය මගින් ගබ්සා පහසුකම ලබා දීමට මුදල් වැය කිරීමේ විශාල වෙනසක් නැත!
අනවශ්‍ය දරුවෙකු පවුලට එකතු වීමේදී දරුවාට ඇවසි නිසි රැකවරණය, පහසුකම් ලබා දීමට මවුපියන්ට හැකියාවක් නැත.ශ්රී ලංකාවේ සිදුවන ගබ්සා වලින් 13.2%ට හේතුව පවුලේ පවතින අධික දරිද්රතාවයයි(4). එහිදී නොසලකා හැරීමට ලක්වන දරුවන්ගේ අනාගතය අදුරු වීම වැලැක්විය නොහැක. අහිංසකයෙකු ලෙස මෙලොව එලිය දුටු දරුවා නිසි රැකවරණය මඳ වීමෙන් සමාජයට බරක් වන අපරාධකරුවන් ලෙස හැඩ ගැසීමට ඇති අවදානම වැඩිය.
කෙසේ නමුදු ගබ්සාවට එරෙහි දැඩි නීතී පැනවීමෙන් ගබ්සා ප්රමාණය හෝ අනවශ්‍ය ගැබ් ගැනීම් නතරවේයැයි යමෙකු සිතන්නේනම් එය මුලාවකි. ශ්රී ලංකාවේ පවතින තත්වයම නීති තුලින් ගබ්සා අඩු කිරීමට නොහැකි බවට හොද සාක්ෂියකි. මීට අමතරව රුමේනියාවේ තත්වය සලකා බැලූ විට එහි ගබ්සා නීතිය දැඩිව ක්රියාත්මක වු 60 දශකයේ ගබ්සා ප්රතිශතය ඉතා ඉහල අගයක් වූ අතර 90 දශකයේ ගබ්සා නීති ලිහිල් කිරීමත් සමගම එය සීග්‍ර ලෙස අඩු විය(5). ලෝකයේ අඩුම ගබ්සාවන් සිදුවන නෙදර්ලන්තයේ ගබ්සාව නීතියෙන් අනුමත කර ඇත(6).
තවද නිසි පරිදි සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීමකින් තොරව ගබ්සාව නීතිගත කිරීමද නිශ්ඵල ක්රියාවකි. ලිපියේ මුල සදහන් වූ ඉන්දියාවේ තත්වය ඊට හොද නිදසුනකි.
ශ්රී ලංකාවේ ගබ්සා නීතිය සංශෝදයේලා 1995දී ගත් තැත ව්යර්ථ වූ තැන එවකට අධිකරණ හා ව්යවස්ථා කටයුතු ඇමතිවරයා පැවසූ අදහසකින් මෙම දීර්ඝ, විවාදාත්මක ලිපිය අවසන් කිරීමට සිතමි.
"ගබ්සා නීති ලිහිල් කිරීම ලෝකයේ විවිධ රටවල් ගණනාවක නීති පද්ධතියේ පරිණාමයත් සමඟ සිදු වෙද්දී, ශ්රී ලංකාව එම සංවර්ධන ක්රියාවලිය සමඟ එකතු නොවීමට කිසිදු හේතුවක් මට නොපෙනේ"(7)
ආශ්‍රිත ලිපි
1- Abeysinghe N L,Weerasundara B J, Jayawardane P A, Somarathne S D; Awareness & views of the law of termination of pregnancy & reason for requesting for resorting to an abortion among a group of women attending to a clinic in Colombo
2- The Safe Motherhood Action Agenda: Priorities for the next decade. Report on the Safe Motherhood Technical Consultation, 18-23 October 1997, Colombo, Sri Lanka, p 57
3- Perera J, Desilva T, Gange H; Knowledge, behaviour, attitude on induced abortion & family planning among Sri Lankan women seeking termination of pregnancy
4- De Silva I, Rankapuge L, Perera R. Induced abortion in Sri Lanka. Who goes to providers for pregnancy termination? In: Demography of Sri Lanka, Issues and challenges. Department of Demography, University of Colombo, Sri Lanka. 2000; 182-96.
5- Roystan E, Armstrong S eds. Preventing maternal death. Geneva: WHO, 198
6- Henshaw S. Abortion laws and practice worldwide. International Conference on Reducing the Need and Improving the Quality of Abortion Service. Stimezo Nerderland, Utrecht, Netherlands, 1997
7- Hansard of 19th September 1995, p 89-128