Saturday, June 26, 2010

ගබ්සාව, සංස්කෘතිය හා ඇය

ගබ්සාව යන වදන අප සංස්කෘතියට අනුව අපට එතරම් ශිෂ්ඨසම්පන්න නොවූවද, අවාසනාවකට අද සමාජයේ එය ප්රධාන ප්රශ්නයක් බවට පත්වී තිබේ. නිර්මල බුදු දහම රදා පවතින ධර්ම රාජ්යයේ මෙම ප්රශ්නය කෙතරම් ඔඩු දුවා අත්දැයි කිවහොත් දැනට වර්ෂයකට ශ්රී ලංකාව තුල සිදුවන ගබ්සා ප්රමාණය 175,000 පමණ වේ.එය ශ්රී ලංකාවේ වාර්ෂික උපත් ප්රමාණය වන 335,000න් හරි අඩකට ආසන්න වේ. තවත් අයුරකින් අර්ථ නිරූපණය කලහොත් සෑම උපත් දෙකකටම වරක් නීතිවිරෝධී ගබ්සාවක් රටේ කොතැනක හෝ සිදුවේ. ගබ්සාව නීතියෙන් තහනම් රටක, ප්රමිතියකට නොවූ ප්රතිකාර ක්රම තුලින් මෙතරම් ගබ්සාවන් ප්රමාණයක් සිදු වීම තුල කෙතරම් කාන්තාවන් සංඛ්යාවකගේ ජීවිත වාර්ෂිකව අවදානමට පත් වේදැයි අමුතුවෙන් පැහැදිලි කල යුතු නොවේ. එබැවින් අප විසින්ම පැනවූ නීති රීති, සමාජ සම්මත තුල අපේක්ෂිත ප්රතිඵල නොලැබීම හා අවසන සියල්ල හොර පාරෙන් සිදුවී අසරණ කාන්තාවන් සිය ජීවිත අවදානමකට ලක් කර ගැනීම තුල එකී නීති, සමාජ සම්මතයන් හා ආකල්ප පිලිබදව නැවත විමසා බැලිය යුතු කාලය එලබ ඇත.

පිලිබදව විමසා බැලීමට මත්තෙන් ගබ්සාව,ගබ්සා නීතිය හා ඊට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වන මත පිලිබදව අවබෝධයක් ලබා ගැනීම වටී.

ගබ්සාව නීතිය ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට එක් වූයේ 1883දීය!!. එහි සදහන් වන ආකාරයට ගබ්සාවක් සිදුකිරීම නීතියෙන් අනුමත කල හැක්කේ කළලය කුස දරා සිටීමේදී හෝ ප්‍රසව ක්‍රියාවලියේදී ඉන් මවගේ ජීවිතයට හානියක් වේනම් පමණි.ඒ අනුව ශ්‍රී ලංකාව මවගේ ජීවිතය අවදානම් වන අවස්ථාවකදි පමණක් ගබ්සාව නීතියෙන් අනුමත කරන ලෝකයේ රටවල් 21% ප්‍රතිශතයට අයත් වේ. (ලෝකයේ රටවල් අතුරින් 61% ගබ්සාව නීතියෙන් අනුමත කර ඇත!)

පවතින ගබ්සා නීතිය සංශෝදනය කර ස්ත්‍රී දූෂණයකින් පසුව, කළලයේ විකෘතිභාවයක් ඇති බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වූ විට හා මවගේ ජීවිතයට අවධානමක් ඇති විට ගබ්සාව සිදුකල හැකි පරිදි යෝජනාවක් 1995දී ඉදිරිපත් වුවද එය සම්මත වූයේ නැත.

කළලයක ජීවය ආරම්භ වන්නේ සංස්ලේචනය සමගින් බවත්,සංස්ලේචන ක්රියාවලිය තුලදීම කළලයට අනන් වූ DNA නිපදවෙන බවත්, එම නිසා සංස්ලේචනයෙන් පසු කවර හෝ අවස්ථාවක සිදු වන ගබ්සාව වනාහි වරදක් නොමැති ජීවියෙකුගේ ප්රාණය උදුරා ගැනීමේ සදාචාර විරෝධී ක්රියවක් බව ගබ්සාවට විපක්ෂ පාර්ශවය ඉදිරිපත් කරන ප්රධානතම කරුණය. තවද යමෙකු ගර්භනී මවක ඝාතනය කිරීම,ගර්භනී නොවන කාන්තාවක් ඝාතනය කිරීමට වද දැඩි දඩුවම් පැමිණිය හැකි වරදක් ලෙස නීතියෙන් අර්ථ දක්ව ඇති තත්වයක් තුල, ගර්භනී කාලයෙන් ස්වායක්තව කළලය තවත් ජීවියෙකු ලෙස සලකන බව ඔවුන් පෙන්වා දේ.

ගබ්සාවට පක්ෂ පාර්ශවය මේ පිලිබදව දක්වන අදහස වනුයේ සංස්ලේචනයේ සිට සති 24 පමණ වනතුරු කළලය ස්වකීය සියලු මූලික ජීවී අවශ්යතා සදහා මව මත යැපෙන බැවින් එතෙක් එය වෙනත් ජීවියෙකු ලෙස සැලකිය නොහැකි බවය.

කෘතීම සංස්ලේචනය හෙවත් In vitro fertilization ක්රියාවලියේදී ඩිම්බ කිහිපයක් ශුක්රාණු කිහිපයක් හා වෙන වෙනම සිරුරෙන් පිටතදී මුහුකර ඉන් සෑදෙන යුක්තානු අතරින් වඩාත්ම නිරෝගී කළලය තෝරා ගෙන එය මවගේ ගර්භාශයේ තැම්පත් කෙරේ. එහිදී ඉතිරි කළල වලට සිදුවන්නේ ජීවයක් නොලබා ඉවත් වීමටය. කළලය යනු ජීවයේ ආරම්භය නම් උක්ත ඉවතලන කළල කිහිපය යනු සමූහ මිනී මැරුමකි. කරුණු කාරණා එසේ වන විට ගබ්සාවට විපක්ෂ උදවිය කෘතීම සංස්ලේචනය ක්රියාවලිය හෙලා නොදැකීම ගැටලු සහගත වේ.

තවද සිය සිරුරේ අයිතිය සෑම පුද්ගලයෙකුටම ඇති නිසා කාන්තාවට සිය සිරුරේ ප්රජනක අයිතිය හා පාලනය වෙනුවෙන් කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැති විය යුතුය. අනුව කළලය තමාට අනවශ් නම් එය ඉවත් කිරීමට කාන්තාවට අයිතියක් තිබිය යුතුය. නමුදු එම සංකල්පය ඔස්සේම විමසූ විට උපත් පාලන ක්රම භාවිතයෙන් හෝ ලිංගිකව එක් නොවීම තුලින් අනවශ් ගැබ් ගැනීමෙන් වැලකීමද සිරුරේ අයිතිය හා පාලනය යන සංකල්පයටම අයත් වේ.

ගබ්සාවට පක්ෂ පාර්ශව මූලිකම මතු කරන කාරණය වන්නේ එය ස්ත්රී දූෂණයකදී හෝ අපචාරයකදී වින්දිතයන්ට ලබා දිය හැකි සහනයක් ලෙසය. නමුදු ඊට විපක්ෂ පාර්ශවය සදහන් කරන්නේ එවන් අතවරයකට පසුව වුවද හදිසි උපත් පාලන පෙති භාවිතයෙන් අනවශ් ගැබ් ගැනීම් වලකා ගැනීමට ඕනෑ තරම් ඉඩ ඇති බවය. දූෂකයාට දඩුවම් කරනවා මිසක දූෂණයේ ඵලයක් වූ අහිංසකයෙකුට දඩුවම් කිරීම ඵල රහිත බව ඔවුන් පෙන්වා දේ. නමුත් දූෂණයක්/අතවරයකට පසු කාන්තාව මුහුණ දෙන මානසික පීඩාව ගැන මොවුනට අවබෝධයක් ඇති සැටියක් නැත. තමන් මුහුණ දුන් අනපේක්ෂිත ව්යසනය හමුවේ දැඩි මානසික කම්පනයකට -Post traumatic stress disorder- පත් වන ඇය බොහෝ වේලාවට එම සිදුවීම පිලිබද කතා කිරීමට, නැවත සිහි කැදවීමට පවා බිය වේ. එවන් මානසික පසුබිමක් තුල හදිසි උපත් පාලන පෙති ලබා ගැනීම මඟ හැරීම අතිශය සාමාන් සිදුවීමක් ලෙස මිස වින්දිතයාගේ වරදක් ලෙස නොසැලකිය යුතුය. තවද මෑත කාලීනව ගබ්සාව ආශ්රිත නීති පිලිබද දැනීම, ආකල්ප පිලිබදව ගර්භනී මවුවරු සහභාගී කර ගනිමින් සිදුකල සමීක්ෂණයකදී 75% මවුවරු පවසා ඇත්තේ මවගේ ජීවිතයට අනතුරක් වන අවස්ථාවකදී, ස්ත්රී දූෂණයකදී හෝ අපචාරයකදී, මවට දරුණු මානසික රෝගයක් ඇති අවස්ථාවන්හිදි හා කළලයේ ආබාධිත තත්වයක් තහවුරු වූ අවස්ථාවකදී ගබ්සාවක් සිදු කිරීමට හැකි පරිදි නීති රීති සකස් විය යුතු බවය. (1)

ගබ්සාව යනු ශාරීරික සංකූලතා (නැවත පිලිසිද ගැනීමකදී ගර්භාශයෙන් පිටත සිදු වන පිලිසිද ගැනීම්-ectopic pregnancy ,ස්වාභාවික ගබ්සා වීම්- Miscarriages- ,ශ්රෝණියේ ආසාදන-pelvic Inflammatory diseases-), ඇතැම් විට මරණය පවා ගෙන දෙන්නක් බව ඊට විපක්ෂ පාර්ශවය ගෙන එන කරුණකි. සැබවි. ගබ්සාවක සංකූලතා ඇතිවීමේ සම්භාවිතාව කෙරෙහි එය සිදු කරන්නාගේ වෛද් දැනුම හා හැකියාව, භාවිතා වන තාක්ෂණය හා උපකරණ, සැත්කම සිදුකරන ස්ථානයේ පිරිසුදු බව හා මවගේ සෞඛ් තත්වය, ගර්භනී කාලය යන කරුණු මූලිකවම බලපායි. ගබ්සාව නීති විරෝධී ශ්රී ලංකාවේ එය රහසේ, සම්මත තත්වයන්ගෙන් බැහැරව, නිසි පුහුණුවක් නොලැබූවන් විසින් සිදු කිරීමෙන් සිදුවන මාතෘ මරණ ප්රමාණය ලංකාවේ මාතෘ මරණ අනුපාතිකයෙන් 5-6%කට දායක වේ. ඛේදජනක තත්වය වනුයේ මෙම මරණ ප්රමාණය ඉතාමත් පහසුවෙන් අවම කරගත හැකි ප්රමාණයක් බැවිණි.

අප අසල්වැසි ඉන්දියාවේ 1972 සිට ගබ්සාව නීතිගත කර තිබුණද නිසි සෞඛ් පහසුකම් ඌන වීම තුල සිදු කෙරෙන අනාරක්ෂිත ගබ්සා ප්රමාණය වසරකට මිලියන 6.2කි!!. එය ඉන්දියාවේ වාර්ෂික ගබ්සා ප්රමාණයෙන් 92%කි. එම අති මහත් අනාරක්ෂිත ගබ්සා ප්රමාණය ඉන්දියාවේ වාර්ෂික මාතෘ මරණ අනුපාතිකයෙන් 20% වග කියයි.(2)කෙසේ නමුදු නිසි පුහුණුව ලැබූවන් විසින් සම්මත තත්ව යටතේ සිදු කරන ගබ්සාවන්හි සංකූලතා ඇති වීමේ අවදානම 0.5%ටත් වඩා අඩු ප්රමාණයකි.

ගබ්සාව යනු තවත් උපත් පාලන ක්රමයක් නොවන බව ඊට විපක්ෂ පාර්ශව ගෙන එන මතයකි.එනමුදු ඔවුන් සම්මතයැයි පවසන උපත් පාලන ක්රම පවා ඇතැම් විට අසාර්ථක වන බව පිලිගත් කරුණකි. එවන් අවස්ථාවක අනවශ් දරු ගැබක් ඉවත් කිරීමට ගබ්සාව හැර වෙනත් මඟක් වේද?තවත් අතකට එවන් උපත් පාලන බාධක පවා බිද දමා හට ගන්නේ ලෝකයටම අවශ් දරුවෙක් විය නොහැකිදැයි කෙනෙකුට තර්ක කල හැක.

ගබ්සාව පිලිබදව දැනුම, ආකල්ප හා යොමු වීමට හේතු සෙවීමට ගබ්සාවක් අපේක්ෂාවෙන් සිටින ශ්රී ලාංකික මවුවරුන් ආශ්රිතව කල සමීක්ෂණයකින් හෙලිවන්නේ බහුතරයක් තවමත් ගබ්සාව යොදා ගන්නේ උපත් පාලන ක්රමයක් ලෙස බවය. 38.6% ප්රමාණයක් මවුවරුන්ට ගබ්සාව සිදු කර ගැනීමට හේතුව වී තිබුනේ බාලම දරුවාගේ වයස අඩු වීම, දරුවන් 3කට වඩා සිටීම යන කරුණුය.(3)

බොහෝ වේලාවට ගබ්සාවට යොමු වන්නේ වයසින් හා ජීවන අත්දැකීම් වලින් අඩු කාන්තාවන් බවත්, වයසින් මුහුකුරා යත්ම තම සිදු කල දේ ගැන ඇතිවන පසුතැවීම, වරදකාරී හැඟීම නිසා ඔවුන් ජීවිත කාලයෙන් වැඩි කොටසක් දැඩි මානසික අසහනයෙන් පෙලෙන බවත් ගබ්සාවට විපක්ෂ පාර්ශවය මතුකරන තවත් කාරණවකි. නමුදු තවත් සමීක්ෂණයක් පෙන්වා දෙන පරිදි ශ්රී ලංකාවේ ගබ්සාවන් සිදු කර ගන්නා අති බහුතරය වයස 30-34 පමණ වේ. මෙය ජීවිතය ගැන තීරණයක් ගැනීමට අපහසු වයසක් ලෙස සැලකිය හැකි නොවේ.(4). තවද මුලු ගබ්සා ප්රතිශතයෙන් 10% වූ අවිවාහක යෞවනියක් වුවද දිගටම දරු ගැබ පවත්වා ගෙන යාමෙන් තරුණ වයසේදීම දැඩි චිත්ත පීඩාවකට, සමාජ අපවාදයකට ලක්වේ. සමාජය අප සිතන තරම් කාරුණික නොවේ. ඇතැම් විට ඇයට දරුවා ඇති දැඩි කිරීමට පාසල් ජීවිතයට ආයුබෝවන් කීමට සිදු වනු ඇත.සිය ජීවන ඉලක්ක සපුරා ගැනීමට නොහැකිවනු ඇත. මේ සියල්ලටමත් වඩා මුහුකුරා නොගිය ඇයගෙන් දරුවාට නිසි පූර්ව, පසු ප්රසව රැකවරණය නිසි පරිදි ලැබේ යැයි සහතික කල නොහැක. ජීවිතයේ සිදුවන එක් අත් වැරදීමක් වෙනුවෙන් ඇය තමාගේ මුලු ජීවිතයම කැප කල යුතුයැයි පැවසීම කෙතරම් අමානුශිකද?

ගබ්සාවට ප්රතිවිරුද්ධ පාර්ශ්වය පවසන පරිදි ගබ්සාවක් යනු දැඩි මානසික ආතතියකට කාන්තාව බඳුන් වන ක්රියාවලියකි. තවද ගබ්සාවකින් පසුව ඇති වන පශ්චාත් ගබ්සා අවස්ථාව යනු කාන්තාව දැඩි ලෙස මානසික අවපීඩනයකට බඳුන් වන කල පරිච්ඡේදයකි. නමුත් යම් හෙයකින් අවිවාහය යෞවනියක් අවජාතක දරුවෙකු හදා වඩා ගතහොත් ඇය හා දරුවා ජීවිත කාලය පුරාවට මුහුණ දෙන සමාජ අපවාද හා ආශ්රිත මානසික කඩාවැටීම සලකා බලනු වටී.

නූතනයේ වෛද් විද්යාව ඉතා දියුණුය. කළල අවස්ථාවේදීම ඉන් සෛල හා පටක ලබා ගෙන ජාන විද්යාත්මක පරීක්ෂණ මගින් නූපන් දරුවාට අනාගතයේ ඇතිවිය හැකි රෝගී තත්ව, ආබාධිත තත්ව පිලිබදව අනාවැකි පල කිරීමට ජාන විද්යාවට හැකිය. අනුව යම් හෙයකින් ගබ්සාව නීති ගත කලහොත් මිනිසුන් විසින් එය ආබාධිත, බුද්ධි හීන, රෝගී දරුවන් කළල අවස්ථාවේම විනාශ කිරීමට යොදා ගනු ඇත. කාගෙත් ප්රාර්ථනාව නිරෝගී, බුද්ධිමත් දරුවෙක් නොවේද? යම් හෙයකින් එය එසේ වුව හොත් අසාමාන්, රෝගී දරුවන් මෙලොව එලිය නොදකිනු ඇත. ඉන් අදහස් වන්නේ ඔවුන් ලෝකයාට අනවශ් බවද? බිහිරි Beethovan ලොවට දායාද කල මියුරු සංගීත නිර්මාණ කොපමනද? ආබාධිතයන්ට ලෝකයට අමරණීය තිලිණ දායාද කල හැකිය. ඔවුන්ටද ස්වාධීන, ආත්ම විශ්වාසයක් සහිත ජීවිත ගත කල හැකිය.

අනවශ් කළලයක් ගබ්සා නොකර විකසනය වීමට ඉඩ හැර එම දරුවා උපන් පසු දරුවන් හදා වඩා ගැනීමට රිසි කැපකරු මාපියන්ට ලබා දීම ගබ්සාවට විකල්පයක් ලෙස ගබ්සා විරෝධීන් පවසයි. නමුදු සිය කුස තුල දරුවෙකු ඇති දැඩි කර, ප්රසව අවස්ථාවද අත් විදීමේදී මව හා දරුවා අතර දැඩි ආත්මීය බැදීමක් ඇතිවන බවත් එබැවින් දරුව උපන් පසුව දරුවා මවැන් ඈත් කිරීම මවට විශාල මානසික කම්පනයක් ඇති කරන්නක් බවත් ගබ්සාවාදීන්ගේ මතයයි.

ගබ්සාවන් සිදු කිරීම වෛද් වෘත්තිකයන්ගේ දිවුරුම හෙවත්, හිපොක්රටික් දිවුරුමට පටහැනි බැවින් ගබ්සාවන් නීතිගත කිරීමෙන් එකී වෘත්තීමය රීති බිද වැටෙන බව ගබ්සා විරෝධීන් පෙන්වා දෙති.

යම් හෙයකින් ගබ්සාව නීතිගත කලහොත් එය නිදහස් සෞඛ්යයේ අංගයක් බවට පත්වේ. එවිට සදහා වැය කෙරෙන්නේ ජනතා බදු මුදල්ය. බහුතරයක් ජනතාව තමා ආණ්ඩුවට ගෙවන බදු මුදල් ගබ්සාව වැනි ( ජීවිත විනාශයක්යැයි අප සංස්කෘතිය මඟින් සිතීමට පොලඹ වූ) ක්රියාවකට යොදවනු දැකීමට කැමති වේද? එනමුදු එය නීතිගත නොකලද ඇති හැකි අය කුමන මිලක් හෝ ගෙවා තම අවශ්යතාවය ටු කර ගනිති. නමුත් බහුතර දරිද්රයන්ට එතරම් මුදලක් වැය කල හැකිද? නොහැකියාව විසින් අනාරක්ෂිත ගබ්සාවන්ට පොලඹවන ඔවුන්ගේ ඉරණම ගැන සංස්කෘතියේ කොතැනකවත් කතාවන්නේ නැත.අනෙක් අතට යුද්ධයට මුදල් වැය කිරීම හා නිදහස් සෞඛ් සේවය මගින් ගබ්සා පහසුකම ලබා දීමට මුදල් වැය කිරීමේ විශාල වෙනසක් නැත!

අනවශ් දරුවෙකු පවුලට එකතු වීමේදී දරුවාට ඇවසි නිසි රැකවරණය, පහසුකම් ලබා දීමට මවුපියන්ට හැකියාවක් නැත.ශ්රී ලංකාවේ සිදුවන ගබ්සා වලින් 13.2% හේතුව පවුලේ පවතින අධික දරිද්රතාවයයි(4). එහිදී නොසලකා හැරීමට ලක්වන දරුවන්ගේ අනාගතය අදුරු වීම වැලැක්විය නොහැක. අහිංසකයෙකු ලෙස මෙලොව එලිය දුටු දරුවා නිසි රැකවරණය මඳ වීමෙන් සමාජයට බරක් වන අපරාධකරුවන් ලෙස හැඩ ගැසීමට ඇති අවදානම වැඩිය.

කෙසේ නමුදු ගබ්සාවට එරෙහි දැඩි නීතී පැනවීමෙන් ගබ්සා ප්රමාණය හෝ අනවශ් ගැබ් ගැනීම් නතරවේයැයි යමෙකු සිතන්නේනම් එය මුලාවකි. ශ්රී ලංකාවේ පවතින තත්වයම නීති තුලින් ගබ්සා අඩු කිරීමට නොහැකි බවට හොද සාක්ෂියකි. මීට අමතරව රුමේනියාවේ තත්වය සලකා බැලූ විට එහි ගබ්සා නීතිය දැඩිව ක්රියාත්මක වු 60 දශකයේ ගබ්සා ප්රතිශතය ඉතා ඉහල අගයක් වූ අතර 90 දශකයේ ගබ්සා නීති ලිහිල් කිරීමත් සමගම එය සීග් ලෙස අඩු විය(5). ලෝකයේ අඩුම ගබ්සාවන් සිදුවන නෙදර්ලන්තයේ ගබ්සාව නීතියෙන් අනුමත කර ඇත(6).

තවද නිසි පරිදි සෞඛ් පහසුකම් දියුණු කිරීමකින් තොරව ගබ්සාව නීතිගත කිරීමද නිශ්ඵල ක්රියාවකි. ලිපියේ මුල සදහන් වූ ඉන්දියාවේ තත්වය ඊට හොද නිදසුනකි.

ශ්රී ලංකාවේ ගබ්සා නීතිය සංශෝදයේලා 1995දී ගත් තැත ව්යර්ථ වූ තැන එවකට අධිකරණ හා ව්යවස්ථා කටයුතු ඇමතිවරයා පැවසූ අදහසකින් මෙම දීර්ඝ, විවාදාත්මක ලිපිය අවසන් කිරීමට සිතමි.

"ගබ්සා නීති ලිහිල් කිරීම ලෝකයේ විවිධ රටවල් ගණනාවක නීති පද්ධතියේ පරිණාමයත් සමඟ සිදු වෙද්දී, ශ්රී ලංකාව එම සංවර්ධන ක්රියාවලිය සමඟ එකතු නොවීමට කිසිදු හේතුවක් මට නොපෙනේ"(7)


ආශ්‍රිත ලිපි

1- Abeysinghe N L,Weerasundara B J, Jayawardane P A, Somarathne S D; Awareness & views of the law of termination of pregnancy & reason for requesting for resorting to an abortion among a group of women attending to a clinic in Colombo

2- The Safe Motherhood Action Agenda: Priorities for the next decade. Report on the Safe Motherhood Technical Consultation, 18-23 October 1997, Colombo, Sri Lanka, p 57

3- Perera J, Desilva T, Gange H; Knowledge, behaviour, attitude on induced abortion & family planning among Sri Lankan women seeking termination of pregnancy

4- De Silva I, Rankapuge L, Perera R. Induced abortion in Sri Lanka. Who goes to providers for pregnancy termination? In: Demography of Sri Lanka, Issues and challenges. Department of Demography, University of Colombo, Sri Lanka. 2000; 182-96.

5- Roystan E, Armstrong S eds. Preventing maternal death. Geneva: WHO, 198

6- Henshaw S. Abortion laws and practice worldwide. International Conference on Reducing the Need and Improving the Quality of Abortion Service. Stimezo Nerderland, Utrecht, Netherlands, 1997

7- Hansard of 19th September 1995, p 89-128

Saturday, April 24, 2010

දැය දිනවන ඇය


ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පලමු වතාවට කාන්තාවක් reality රූපවාහිනී තරගයක් ජය ගෙන ඇත ( මීට පෙර ස්වර්ණවාහිනිය කල singing star කිරුල කාන්තාවකට හිමි වුවද පවතින reality ‍රැල්ල හමුවේ එයට reality show එකක් කීමද අපරාධයකි).

Derana Dream Star කිරුල උපේකා නම් වූ දක්ෂ ගායිකාව විසින් හිමි කර ගත්තාය. යමක් හිමි විය යුත්තේ සුදුස්සාටමයැ. උපේකාට කන්කලු හඩක්, නෙත්කලු රුවක් මෙන්ම සුවිශේෂී ප්‍රාසාංගික හැකියාවක් තිබුනාය. ඒ අනුව ගායනයට + අනෙකුත් තරු ලක්ෂණ මැනවින්ම පිහිටියේ ඇයටය.

මේ ජයග්‍රහණයත් සමගම කාන්තාවන් reality show වලින් ඉදිරියට යැවීමට තරම් ජනතාව බුද්ධිමත් වියයුතුයැයි පවසමින් පසුගිය Sirasa Super Star තරග විනිශ්චයේදී විස්සෝප වූ සන්නස්ගල වැන්නන්ටද අස්වැසිල්ලක් ලැබෙනු ඇත.

ඉහත කතාන්දරය කාන්තාවට සමාජයේ හිමි තැන ගැන තර්ක විතර්ක මතුවන එක් සිදුවීමක් පමණි. නමුත් කාන්තාවට "සමතැන" ලැබිය යුතුයැයි පවසන කතාබහ අලු යට වූ ගිණි මෙන් දැල්වෙමින්, නිවෙමින් තිබේ.

ඇත්තටම කාන්තාවට ලැබිය යුත්තේ "සමතැන"ද නැතහොත් " නිසිතැන"ද? කවුරුත් පොට වරද්දා ගෙන තිබෙන්නේ එතැනය."සමතැන" ලබා දීම යනු ලිංගිකත්වය ප්‍රමුඛ කාරණාව ලෙස සලකා සමාජයේ පිරිමින් දරන තනතුරු සමාන ලෙස නියෝජනය කිරීමට කාන්තාවන්ට ඉඩ ලබා දීමය. පසුගිය මහමැතිවරණයේදී කාන්තාවන් වෙනුවෙන් වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කල රනිල් වික්‍රමසිංහ මහතාද පොට වරද්ද ගත්තේ මෙතැනය.
එහිදී ඔහු පැවසුවේ සියලුම පාලන ඒකක වල කාන්තාවන්ට සම අවස්ථා ලබා දෙන බවය. නාම යෝජනා පත්‍රයේ පමනක් නොව, පාර්ලිමේන්තුව ඇතුලු පලාත් සභා, පලාත් පාලන ඒකක වල සමාන කාන්තා නියෝජනයක් ඇති කරන බවය.එය එසේ තීරණය කිරීමට වික්‍රමසිංහ මහතා කව්ද? නාම යෝජනා පත්‍රයේ සම නියෝජනය කාන්තාවන්ට ලබා දීමේ කිසිදු වරදක් නැත. නමුත් පාර්ලිමේන්තුව ඇතුලු ඒකක වල කාන්තා නියෝජනය තීරණය කිරීම ඔහු සතු අයිතියක් නොව ජනතාව සතු අයිතියකි. මැතිවරණයට ඉදිරිපත් වන කාන්තාවට අදාල "නිසිතැන" ලබා දීමට සුදුසු නම් ජනතාව එය අනිවාර්යයෙන් ලබා දෙන බව ඈත මෙන්ම මෑත ඉතිහාසයද පෙන්වාදේ. කාන්තාවාදීන් හඩ නගන විෂමතාවයන් සෑම ජන්දය පාවිච්චි කරන කාන්තාවක්න් සැබෑ ජීවිතයේදී අත් විදීනම් මෙම "තැන" තවත් ඉහල යනු ඇත.

දක්ෂයාට නිසිතැන ලැබිය යුතුය. යම් ආයතනයක, තරගයක කාන්තාවක් අන් සියලුම පිරිමින්ට වඩා හැකියාවෙන් පිරිපුන් නම් ඇයට එහි ඉහලම පු‍ටුව මිසක් "සම" පු‍ටු නොලැබිය යුතුය. එසේ නැතිව ලිංගිකත්වය මත පමණක් පදනම්ව "සමතැන" ඉල්ලීම යනු කාන්තාවන් සතු ශක්තීන්, ඔවුන් සතු විභවයන් හෑල්ලු කිරීමකි.

උපේකා කිරුල දින්නාය. ඇගේ දක්ෂතාවන්ට "නිසිතැන" ලබා නොදීමට කිසිවෙකු කුහක වූයේ නැත.
කිරුලේ අයිතිය දක්ෂතාවය මත ලද ඇයට උණුසුම් සුභ පැතුම්!

Friday, April 23, 2010

ප්‍රවීනා


අවුරුදු 5ක් පුරාවට
වෛරය...
ද්වේශය....
තණ්හාව....
කුහකකම.....
කෛරාටිකකම....
චපලකම...
අසම්මත චර්යාවන්......
පරම්පරා ගණනාවක් පුරාවට අස්වැද්දූ

ප්‍රවීනා..............

ඔන්න 23 වෙනිදට ආයේ නො එන්නම යනවලු

මගේ හදුන් පොත කීං ගානව
සතුටටද මන්ද...?

Thursday, April 22, 2010

වැඩ බැරි දාස


ප.දිගම්බරන් මහතාට හා මනෝ ගනේෂන් මහතාට හිටිහැටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නුගුණ හා නොහැකියාව පෙනෙන්නට පටන් ගෙන තිබේ. මීට ආසන්නම හේතුව වන්නේ එජාපෙ ජාතික ලයිස්තු මන්ත්‍රීධූර පිරි නැමීමේදී තමන්ට මන්ත්‍රීධූර නොලැබී යාමය.
රනිල් වික්‍රමසිංහ යනු අසාර්ථක නායකයෙකු යන්න අතිබහුතර එජා පාක්ෂිකයන් පවා පිලිගන්නකි. ගැටලුව වනුයේ මීට සති දෙකකට මත්තෙන් එජාපෙ යෙන් ජන්දය ඉල්ලා එජා පාක්ෂිකයන්ගේ ජන්දවලින් ගොඩ ආ( ප.දි) අයට හදිස්සියේම අකුණක් ගැසුවා සේ එය තේරුම් යාමයි. තව දින දෙක තුනකින් ශ්‍රීමුකො ටද එක්වරම සත්‍ය අවබෝධ වුවහොත් ඒ පිලිබද පුදුම විය යුතු නැත.
පුලුල් පෙරමුණක් ලෙස ජන්දයකට යාමේදී එහි සෑම පාර්ශවයකටම ජයග්‍රහණය වෙනුවෙන් කල යුතු වැඩ කොටසක් ඇත. ඒ ඒ පක්ෂ, පෙරමුණ තුල දරන භූමිකාව මත ඉහත වගකීම් අඩු වැඩි වුවද කිසිවෙකුට තම වගකීමෙන් පලා යා නොහැක. ජයග්‍රහණයේදී අපි නිසා දිනුවා කියන්නත්, පරාජයේදී අරූ නිසා පැරදුනා යැයි කීමත් හුදෙක්ම ඇඟ බේරා ගන්නා කතාන්දරයක් ලෙස මිස ඊට වැඩි වටිනාකමකින් අර්ථනිරූපණය කල නොහී. ඒ අනුව අවම වශයෙන් තමාට ජන්ද පදනම ඇති, තම ජන වර්ගයේ වැඩි ජන්ගහනයක් ඇති දිස්ත්‍රික්ක වලදී හෝ එජාපෙ ට ජයග්‍රහනය හිමි කර දීමට ඔවුනට හැකි විය යුතුය. එය එසේ නොවීම තුල ඔවුන්ද ඉබේටම අසාර්ථක ගොන්නට වැටීම වැලකිය නොහැක. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඔවුනට වඩා "චාටර්" වනුයේ ඔහුගේ පසුගිය පරාජිත මැතිවරණ ප්‍රතිඵල නිසා පමණි. එබැවින් සියල්ලන්ම අසාර්ථකය. එකිනෙකා වීදුරු ගෙවල් වල සිට ගල් ගසා ගැනීමෙන් වැඩක් නැත.
රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ඉතාමත් නිවැරදි තීරණය ගෙන ඇත. යම් හෙයකින් මෙබදු සත පහකට විශ්වාස කල නොහැකි පක්ෂ වලට තවත් ජා.ලයිස්තු මන්ත්‍රීධූර පිරිනැමීමෙන් එම මන්ත්‍රී ආසනද පිල් මාරු වීමේ අවදානමකට නො අනුමානව ලක් වෙනවා ඇත. ඒ අනුව ආසන 2ක් අහිමි වීමට වඩා 1ක් අහිමි වීම විපක්ෂ නායකයා උපේක්ෂාවෙන් විද දරා ගන්නට ඇත.
පසුගිය මහමැතිවරණ ප්‍රතිඵලයට අනුව එජාප යට ලැබුන ජා.ලයිස්තු මන්ත්‍රීධූර 11න් 10ක් පක්ෂයට පි‍ටුපා ගොස් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්හ. එබැවින් මෙවර එම මෝඩකමම නැවත නොකිරීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
රෑ වැ‍ටුනු වලේ දවල් නොවැටෙනවා කියන්නේ ඒකටය.

පංචායුධය


විමල් වීරවංශ මහතාට මල පැන තිබේ. ඒ එජනිස තම පක්ෂයට පොරොන්දු වූ පරිදි ජාතික ලයිස්තු මන්ත්‍රීධූර ලබා නොදුන් බව පවසමිනි. මේ බව මීට පෙර පැවසුවේ නම් අචල ජාගොඩ හා මුසම්මිල් මැතිවරණයට ඉදිරිපත්වන බවද ඔහු ප්‍රකාශ කරයි. එජනිස වෙනුවෙන් තම පක්ෂය කල කී දෑ වෙනුවෙන් ජා.ල. මන්ත්‍රීධූර 2 කොහොමටවත් ප්‍රමාණවත් නැතිබවද, මහාචාර්ය රජීව් විජේසිංහට මන්ත්‍රීධූරය පිරිනැමීම තේරුමක් නැති වැඩක් බවද, මෙය නින්දාසහගත වැඩක් බවද ඔහු තවදුරටත් පවසයි.
කෙසේ නමුත් ඔහුගේ මේ සෑම වාග් ප්‍රහාරයකම චූදිතය බවට පත්කර ඇත්තේ එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාය. සංධානයේ ප්‍රධානියා වූ ජනාධිපතිට විරුද්ධව වචනයක් හෝ ප්‍රකාශ නොකිරීමට ඔහු ප්‍රවේසම් සහගත වී ඇත. ඇතැම් විට ඒ පසුගිය කාලයේ ජනාධිපතිතුමා විමල් මහතා ජනපති පවුලේම තවත් පුත්‍රයෙකු ලෙස සලකා කටයුතු කල නිසා විය හැක ( තාත්තාට එරෙහිව ප්‍රසිද්ධියේ බැන වැදීම අපේ සංස්කෘතියට තරම් නොවේ)

විමල් වීරවංශ මහතා යනු පසුගිය යුධ සමයේ එහි පැවැත්මට මහත් සේවයක් කල දේශපාලනඥයෙකි. news web අඩවි හා blog වල ඇතමුන් යුද්ධය වෙනුවෙන් විමල් පිච්චියක දෙයක් කර ඇත්දැයි මහිශ්‍යාක්ය ලීලාවෙන් ප්‍රශ්න කලද ඔහු විසින් ඇති කල මතවාදීමය වෙනස කිසිසේත් අවතක්සේරු කල නොහැක. යුද්ධයට අණ දෙන්නේ ආණ්ඩුවය. ආණ්ඩුව පවත්වා ගෙන යන්නේ ජනතාවය. ජනතාවගේ මනස යුධකාමී කිරීමේලා විශාල මෙහෙයක් විමල්ගෙන් සිදු විය. යුද්ධයෙන් ප්‍රශ්න විසදිය නොහැකි බවට හිසට මුද්‍ර තැබූ ජාතියක් යලි පිබිදවීම සුලුවෙන් තක්සේරු කල නොහී. එසේම තීරණාත්මක අයවැය අවස්ථාවේ විමල් ගත් පියවර නොවන්නට රාජපක්ෂ ආණ්ඩුව ලොප් වන්නේ එතැන්දීය. එය එසේ වීනම් යුධ ජයග්‍රහන යැයි පාරම් බෑමට දෙයක් අද පවතින්නේ නැත.

ජාතියේ පංචායුධය ලෙස තමාවම හදුන්වා ගනිමින් මහ මැතිවරණ සටනට පිවිසෙන ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ජන්දලාභියා බවට පත් වේ. මීට පෙර ජවිපෙ, ශ්‍රීලනිප සමග සංධානගතවී ජන්දයට පැමිණි මහ මැතිවරණයේද විමල්ගේ මනාප ප්‍රමාණය දෙවනි වූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පමණි. ඒ අනුව බලන කල විමල්ට තමා පොරයැයි සිතීමට ඕනෑවටත් වඩා කරුණු ඇත.

ඉතිහාසයේ සිට කාට කාටත් සිදුවූ වැරද්ද විමල්ටද සිදුවන්නේ මෙතන්දීය. සංධානගතවී තරගකර ඉදිරියට පැමිණ තමාට එම තත්වය සකසා දුන් සංධානයේ ප්‍රධාන පාර්ශවයන්ට කොචොක් කිරීමේ වරද ඉතිහාසයේ සිදුකර ඇති එකම දේශපාලනඥයා විමල් නොවේ. මෙහිදී විමල් තේරුම් ගත යුත්තේ විමල්ට අති දැවැන්ත ජයක් ලැබීමට හේතු වූයේ ශ්‍රීලනි පාක්ෂිකයන් ඔහුටද මනාපයක් පාවිච්චි කිරීම විනා සංධානයට විජයග්‍රහණයක් ලැබීමට හේතු වූයේ ශ්‍රීලනිප නොවන විමල් ලෝලීන්ගේ ජන්දය නිසා නොවන බවය.විමල් ජානිපෙන් තනිව තරග කලා නම් කවරක් සිදුවනු ඇත්ද?

ජවිපෙද සංධානගතව් අතරග කර ආසන 39 දිනා ගත් කල එවැනිම අධිතක්සේරුවකින් පසුවිය. ඔවුන් සිතුවේ තමන් නිසා සංධානය ගොඩ ගියා යනුවෙනි. නමුත් අවසන කා නිසා කවුරුන් ගොඩ ගියාද යන්න පිලිඹිඹු වූයේ ජවිපෙ තනිව් තරග කරන්නට ගිය පලාත් පාලන මැතිවරණයේ සිටය.

හවුල්කාර පක්ෂයක් ලෙස ජනිපෙ සංධානයට කල මෙහෙය කිසිසේත් අවතක්සේරු කල නොහැක.නමුත් ජයග්‍රහණයේ අයිතිය ඉල්ලීමේදී තමන් කල ඒ මෙහෙය ජනතාව දු‍ටු අයුරු තේරුම් අරගෙන එම ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් ප්‍රසිද්ධියේ විහිලුවක් වීමෙන් වැලකිය හැක. මහ මැතිවරණයට තම පක්ෂයෙන් අපේක්ෂකයන් 19 පමණ ඉදිරිපත් කල නමුදු ඉන් ජයග්‍රහණය කර ඇත්තේ 2 පමණි. යාන්තම් 10% සාර්ථකත්වයක් හිමිකර ගෙන ඇත.එමනිසා විමල් මහතා ජනිපෙ ක්‍රියාදාමය ජනතාව විසින් අනුමත කල ආකාරය පලමුව හදුනා ගත යුතුය. පැවති තත්ත්ව යටතේ අචල හා මුසම්මිල් තරග කලද ඔවුන්ටද ගොඩ යා හැකිව තිබුණායැයි සිතීම උගහටය.

දේශපාලන සුලග හමන් දිශාව පිලිබද අවබෝධයක් ඇති විමල් වැනි දේශපාලනඥයෙක් මෙම ගැ‍ටුම වැඩි දුර ගෙන ගොස් අනා ගනීවියැයි සිතීමට අපහසුය. කෙසේ නමුත් තමාගේයැයි සිතා සිටි ස්ථානයෙන් එල්ල වූ මෙම ප්‍රහාරය විමල් මහතා සසල කර ඇතුවාට සැක නැත. ජවිපෙ හැරදා යාමට කරුණු කාරණා යෙදුනු විට විමල් මහතා පාර්ලිමේන්තුවේදී කල කථාවේ කොටසක් සමගින් මෙම ලිපිය අවසන් වේ.

"ගරු කතානායකතුමනි, පිටතින් එල්ලවන පිහි පහරට වඩා ඇතුලතින් එල්ලවන පිහි පහර අතිශයින් වේදනාකාරීයි"

තුනෙන් දෙක


2010 මහ මැතිවරණයේ අවසන් නිල ජන්ද ප්රතිඵලය නිකුත් වී අවසන්ය.

ජන්දයට පෙර ජනාධිපතිතුමන් හැර අනෙක් සියලුම ආණ්ඩු පක්ෂ උදවිය කිව්වේ පවතින ආණ්ඩුවට 2/3 ලබා දෙන ලෙසය. පොලවේ පයගසා සිටින පරිණත දේශපාලනඥයෙක් වූ නිසාදෝ ජනපතිතුමා පැවසුවේ තමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙන ලෙස පමණි. සියල්ල අවසන එජනිස ආසන 144 ලබා ගනිමින් සමානුපාතික නියෝජන ක්රමය තුල දේශපාලන පක්ෂයකට ලබා ගත හැකි ඉහලම ප්රතිඵලය ලබා ඇත. මීට පෙර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්රීන් බිලී බා ගත් අයුරින්ම එලඹෙන පාර්ලිමේන්තුවේද කූප්රකට බැසිල්කරණය ක්රියාත්මක කලහොත් කිසිදු අපහසුවකින් තොරවම ආණ්ඩුව 2/3 සොයා ගනු ඇත. තවත් වසර 6ක් විපක්ෂයට වී තමාට හෝ තම ජනතාවට කිසිවක් දිනා ගැනිමට නොහැකි බව දන්නා සුලු ජාතික පක්ෂ අනිවාර්යයෙන්ම ආණ්ඩුවට එක්වනු ඇත. එජාපයට මුක්කු ගසා ගොඩ ගිය ශ්රීලමුකො ආණ්ඩුවට හේත්තු නොවීමට කිසිදු හේතුවක් පෙනෙන්නට නැත.මනෝ දැනටමත් පිල් මාරුවක් පිලිබදව ඉගි පලකරමින් සිටී. අනුව තුන්කල් දුටු JR ටද අභියෝග කරමින් 2/3 බහුතර බලයක් සහිතව ආණ්ඩුක්රම සංශෝදනයකට යාමට ආණ්ඩුවට හැකිවනු ඇත.

ආණ්ඩුක්රම සංශෝදනයත් සමඟ ආණ්ඩුව ජන්ද ක්රමයේ වෙනසකට යාමට වැඩි ඉඩක් ඇත. මැතිවරණයට පෙර ජනපතිවරයා දිගින් දිගටම පැවසුවේ මෙය මනාප ජන්ද ක්රමය යටතේ පැවැත්වෙන අවසාන මැතිවරණය විය හැකි බවය.එය තවත් ජන්ද පොරොන්දුවක් පමනක් නොවුනහොත් එමගින් 30 වසරක ශාපලත් යුද්ධය අවසන් කිරීමට ගත් මෙහෙයට සමානවම ජනප්රසාදයක් ජනපතිවරයාට ලැබෙනු ඇත. (ඇත්තම කාරණාවනම් ජාතියට වගකියන විපක්ෂයක් සිටී නම් ඉහත අටමගල අවසන් කිරීමට පාලක පක්ෂයට 2/3 සොයමින් යාමට අවශ් නැත. අවාසනාවකට අපට ඇත්තේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විපක්ෂයකි.) කෙසේ නමුත් කේවල ජන්ද ක්රමය යටතේ ආසනයක් දිනාගත නොහැකි සුලු පක්ෂ කුමන ආකාරයේ ප්රතිචාරයක් දක්වයිද යන්න ගැටලුවකි.

අසීමිත බලයක් කවරෙකු හෝ වෙත යාම අතිශය භයානක තත්වයකි. ඉතිහාසය ඊට සාක්ෂි දරයි. ආණ්ඩුව 2/3 යොදා ගන්නේ මනාප ක්රමය ඇතුලු රටට අහිතකර දෑ සංශෝදනයට පමනක් නොවනු ඇත. අතටම ලැබුන Chance එක අතහැරීමට කිසිවෙකු අකමැති නොවනු ඇත. අනුව තම පැවැත්ම සුරක්ෂිත කර ගැනීමට ආණ්ඩුව, සිය බහුතර බලය යොදා ගැනීම ප්රජාතන්ත්රවදයට අතිශයින්ම හානිදායක වනු ඇත.

මහමැතිවරණයේ කැපී පෙනෙන බහුතරයක් ලබා ගැනීමට අමතරව එජනිස තවත් වැදගත් ජයග්රහණයක් ලබා ඇත. සිය සංධානයේ උරුමක්කාර පක්ෂය වන ශ්රීලනිප යට මෑත ඉතිහාසයේ වැඩිම මන්ත්රීධූර ප්රමාණයක් ලබා දීමෙනි.සංධාන නායකයාට ඍජුව වගකියන මන්ත්රීන් පිරිසක් සිටීම ජනපතිවරයාට සහනයක් වනු ඇත. එසේම සුලු ජාතික පක්ෂවල කේවල් කිරීමෙන් අස්වැසිල්ලක් ලබා ගැනීමටද ඔහුට හැකි වනු ඇත.

ප්රතිඵලය කුමක්වුවත් පක්ෂ ව්යවස්ථාවට අනුව රනිල් වික්රමසිංහ මහතාට ගැටලුවක් නොවනු ඇත. අවම වශයෙන් ආණ්ඩුවට 2/3 ලබා නොදෙන ලෙසට ඔහු ජනතාවගෙන් කල ඉල්ලීම ජනතාව පිලිගෙන තිබෙන් බැවින් ඔහුට සතුටු විය හැක. නමුදු සිය හිතෛෂීන් ජනතාව විසින් ප්රතික්ෂේප කිරීම හා තමා ප්රතික්ෂේප කල චරිත ජනතාව විසින් ඉහලට ඔසවා තැබීම තුල දරුණු පක්ෂ අර්බුද වලට මුහුණ දීමට වික්රමසිංහ මහතාට සිදුවනු ඇත.

"ජාතියට මග කියූ" ජවිපෙ පසුගිය සමයේ අයාලයේ යාමට දඩුවම් ජනතාව ලබා දී ඇත. සිය පරාජය ලඝු කිරීමට තැත් කරමින් ඔවුන් ප්රකාශ කරන්නේ ජන්දය දීමේ ප්රතිශතය ඉතා අඩු අගයක් වීම තුල ජනතාව ආණ්ඩුව ප්රතික්ෂේප කර ඇති බවය. එනමුදු මීට මාස 2කට පෙර පැවති පසුගිය ජනාධිපතිවරණයේ මෙන්ම ජනමතය හැසිරුනේ යැයි සිතුවහොත් එජනිස ජන්ද 1,169,546 සමස්ත විපක්ෂය ජන්ද 1,141,517 අහිමි කරගෙන ඇත. එමනිසා ජවිපෙ තර්ක කරන පරිද්දෙන් ජනතාව ආණ්ඩුව ප්රතික්ෂේප කල ඇත්නම් ඊට සමාන ප්රමාණයක් වූ විපක්ෂ ජන්දදායකයන් පිරිසක් විපක්ෂයද ප්රතික්ෂේප කර ඇත.

පවතින අසීමිත බලය හමුවේ කවරකින් කවරක් වේදැයි අනුමාන කිරීමට තවමත් වේලාසන වැඩිය. ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ බහුතර ජන්දදායකයන්ට තමා කල කී දෑ ගැන පසුතැවීමක් ඇතිනොවන ආකාරයට කටයුතු කිරීම, පාලක පක්ෂය හමුවේ තිබෙන මූලිකම අභියෝගය කරගත යුතුය.

http://en.wikipedia.org/wiki/Sri_Lankan_parliamentary_election,_2010

Related Posts Plugin for WordPress, Blogger...