Thursday, April 14, 2011

ඔබත් කෙල ගසන්නෙක්ද?

උදෑසන එලියට බසින මට දෙමටගොඩ බස් නැවතුමට යාමට මීටර 300 පමණ ඇවිදීමට සිදුවේ. ත්‍රීවීල්, කන්ටේනර්, කුකුලුන් ප්‍රවාහනය කරන truck රථ වැනි සුලබ දසුන් අතරේ මා නොවැරදීම දකින තවත් දසුනක් ඇත. ඒ තාර පාරේ හා ඒ අවට මිනිසුන් විසින් ඉවතලූ තඩි කෙල පිඩවල්ය. උදෑසනම එවන් අප්‍රසන්න දසුනක් මැවීමට දායකවන තවත් පිරිසක් තව දුරටත් මීටර 10න් 10ට කෙල පිඬවල් හෙලමින් ගමන් කරනා අයුරුද මට පෙනේ.

තමන්ගේ සිරුරෙන් පිටවන අපදව්‍ය වලින් පොදු ස්ථාන අපවිත්‍ර කිරීම නොහොඹිනා ක්‍රියාවක් බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ. පොදු ස්ථානයක මුත්‍රා කිරීම, මලපහ කිරීම සමාජ ආචාරධර්ම වලට පටහැනි නොහොඹිනා ක්‍රියාවක් වන්නේද, එබදු ස්ථාන කෙළ පිඬු වලින් අපවිත්‍ර කිරීමද එබඳුම පිලිකුල් සහගත නොහොඹිනා ක්‍රියාවකි.

ඛේටය ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ ජලයෙනි. ඊට අමතරව ලවණ, ශ්ලේෂ්මල, ජීරක එන්සයිම හා මිලියන ගණනක් බැක්ටීරියා එහි අන්තර්ගතය. ආහාර මාර්ගය හා ස්වසන මාර්ගය එකිනෙක සම්බන්ධ නිසා මෙම බැක්ටීරියා අතර ස්වසන මාර්ගය ආශ්‍රිත රෝගකාරක බැක්ටීරියා හා වෛරසද මිලියන ගණනින් ඇත. ( සාමාන්‍යයෙන් ඛේටය එක මිලි ලීටරයක ක්ෂුද්‍යජීවීන් මිලියන 500 පමණ ඇත).

මුඛයේ ඇති ප්‍රධාන ඛේට ග්‍රන්ථි 3කින් හා අවශේෂ ග්‍රන්ථි ඉතා විශාල ගණනකින් නිපදවෙන ඛේටය ස්‍රාවය වීම සිදුවන්නේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියේ පාලනයෙනි. සාමාන්‍යයෙන් දිනකට ඛේටය 0.75-1.5L ප්‍රමාණයක් ඛේට ග්‍රන්ති වලින් නිපදවයි. ආහාර පිලිබද සිතුවිල්ලකදී, අපුල දෙයක් දැකීමේදී, මහන්සි වී සිදුකෙරෙන වැඩක් අතරතුරදී, දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනයේදී ඛේට ශ්‍රාවය වැඩිවේ.

ඇතමුන් අපුලට කෙල ගසති. සමහරු පුරුද්දට කෙල ගසති. තවත් සමහරු සෝබනේට කෙල ගසති. ඇතමෙක් ඇස් වහ කටවහ වලට බියෙන් කෙල ගසති. තවත් අයෙක් තරහව, අප්‍රසාදය පෙන්වීමට කෙල ගසති.මේ කවුරුත් අවසානයේ තමාගේ ශරිරියේ ශ්ලේශ්මල අති විශාල බැක්ටීරියා ප්‍රමාණයක් සමග අවට පරිසරයට එක් කරති.

බල්ලන් තම සීමා මායිම් ලකුණු කිරීමට මුත්‍රා කරන ආකාරයෙන්ම මිනිසුන් තම සීමාව හා බලය පෙන්වීමට කෙල ගැසීම යොදා ගන්නා බව ඇතැම් සමාජ විද්‍යාඥයන් පෙන්වා දී තිබේ. පිරිමින් අතර කෙල ගැසීම ගැහැණුන්ට වඩා බහුල වීමට මෙය හේතුවක් විය හැකි බවට ඔවුන් ප්‍රකාශ කරති. මන්ද බලය, සීමාව පිලිබද වැඩි අවධානයක් තිබෙන්නේ පිරිමි පාර්ශවය අතර බැවිනි.

ප්‍රසිද්ධ ස්ථාන වල කෙල ගැසීම කෙතරම් අශෝබන ක්‍රියාවක්ද යන වග අපි මේ ලිපිය මුලදී කතා කලෙමු. යමෙක් ඇවිදින් ඔබේ සාලයේ කෙල පිඩක් හලා ගියහොත් ඔබට ඇතිවන්නේ කුමනාකාරයේ හැඟීමක්ද? පොදු ස්ථානයක කෙල ගසනු දැකීමෙන් අන්‍යන්ට දැනෙන හැඟීම ඊට කිසි ලෙසකින් වෙනස් නොවේ.

ඛේටය සමඟ වාතලයට මුසුවන ක්ෂුද්‍රජීවීන් මඟින් ඇතිවන සෞඛමය අවදානම කිසි ලෙසකින් අවතක්සේරු කල හැකි නොවේ. හැදියාවක් නැති මිනිසෙකුගේ ක්‍රියාවකින් වාතලයට පිවිසන පිවිසෙන මිලියන ගණනක් වූ බැක්ටීරියා හා වෛරස විවිධ ස්වාභාවික තත්ව යටතේ පරිසරයේ ‍රැදී සිටිමින් තවත් අයෙකුගේ ආශ්වාස වාතය හා ඔහුගේ සිරුරට ඇතුලුවී රෝගය ව්‍යප්ත කරති. ක්ෂය රෝගය ප්‍රමුඛ කර ගත් සිය ගණනක් වූ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග තම ව්‍යප්තිය තහවුරු කර ගන්නේ එපරිද්දෙනි. (ක්ෂය රෝග කාරක TB බැක්ටීරියාව හා අනෙකුත් බොහෝ ක්ෂුද්‍රජීවීන් දැඩි සූර්ය රශ්මිය හමුවේ විනාශ වේ. එනමුදු අදුරු, සීතල තැන් වලට මුදා හැරෙන මෙම ජීවීන්ට කාලයක් පුරාවට සක්‍රීයව හිදිමින් රෝගය සම්ප්‍රේෂණය කල හැක.)

දුම්පානය කරන්නන්ට පොදු ස්ථාන වල හිදිමින් දුම් පානය කරමින් අවට පරිසරය දූෂණය කිරීමට හා අවට සිටින්නන්ට බලහත්කාරයෙන් අක්‍රීය දුම්පානය සිදුකරවීමට නීතියෙන් අවසර නැත. එසේ නම් කෙල ගසන්නන්ට පොදු ස්ථාන වල කෙල ගසමින් භයානක විසබීජ වලට හුදී ජනයා නිරාවරණය කිරීමටද නීතියෙන් අවසරයක් නොතිබිය යුතුය.

කෙසේ නමුත් මෙවන් පුරුදු නීති රීති මගින් වෙනස් කල හැකියැයි සිතීම උගහටය. අවශ්‍ය වන්නේ ආකල්පයමය වෙනසකි.

තමා ගැන මෙන්ම අනුන් ගැනද සිතීමට හුරු කරවන ආකල්පමය වෙනසකි.

Tuesday, March 29, 2011

අපේ බුදුන් අපි වැන්දා....පෙරලි පෙරලි අපි වැන්දා....

සිරිපා වන්දනා කලෙමි. අති පූජනීය, මහත් ශ්‍රද්ධාවෙන් වන්දනා කල යුතු, අනුහස් වලින් පිරි පූජා භූමියක් වන්දනා කලෙමි.

මේ මා සිරිපා කරුණා කල පලමු අවස්ථාවයි. යමෙක්, යමක් පිලිබද යහපත් හෝ අයහපත් ආකල්පයක් ඇතිවන්නේ එය දකින කියන පලමු අවස්ථාවේ සිතෙහි පහල් වන හැගීම් දැනීම් අනුවය. ඒ අනුව මා අත්වින්දේ මා අසා දැන සිටි පුණ්‍ය භූමිය නොවන බව මගේ වැටහීමයි. කොටින්ම සිත කලකිරවන, පිලිකුලට පත්කරන බොහෝ දෑ හැරෙන්නට සිත නිවන සනහන දෑ ඉතාමත් අල්ප විය. මාගේ එම වැටහීම නිවැරදි නොවේනම් සමන් දෙවිඳු මට සමාව දෙත්වා! එසේම සිරිපා කිහිප වතාවක් කරුණා කල ඔබේ වැටහිම මීට වඩා වෙනස් වනු ඇත. එසේ නම් පහත සදහන් සිදුවීම් මා සිරිපා කරුණා කල දිනයේදී පමණක් සිදුවූ අහඹු සිදුවීම් වෙන්නට ඇත. එයද එසේනම් ඔබද මට සමා කරත්වා!

අප සිරිපා කරුණා කලේ හැටන් පාරෙනි. නල්ලතන්නියේ වාහනය ගාල් කර ගමන් ආරම්භ කල අප මුල් හරියේදී නා නා ප්‍රකාර කඩ වීදි පසු කලෙමු. කරුණා කීරිමට අවශ්‍ය ඇදුම් පැලදුම් හා ආයිත්තම් පහසු මිලකට ලබා ගැනීමට ඒමගින් අවකාශ ලැබුනි. දෙරණ FM නාලිකාව මගින් ගෙන ගිය විකාශය අතිශය ප්‍රයෝජනවත්, හරවත් හා කාලෝචිත විය. මඟ හැරුන පුද්ගලයන්ගේ නම් ගම් කියවීම හැරුනු කොට ශ්‍රී පාද පුද බිම ආශ්‍රිත ඉතිහාසය, වතාවත්, දහම් කරුණු, බුද්ධාලම්බන ප්‍රීතිය දනවන ගීත, ගමන පුරා හැසිරිය යුතු ආකාරය ඒමගින් ඉතා අපූරුවට ප්‍රචාරය විය. මේ සියල්ල සමගින් දෙයියනේ කියා අපි රාත්‍රී 8.30 පමන කරුණා කිරීම ඇරඹුවෙමු.

සර් ජෝන් කොතලාවල මැතිඳු ශ්‍රී පා මලුවට වූ භාරයක් ඔප්පු කිරීම වස් ඉදිකරන ලද මකර තොරණ පසුකරත්ම අපට හමු වූයේ සමන් දේවාලය යැයි කියා ගනිමින් සුමන් සමන් දෙවිඳුට නිගා දෙන තැනකි. බොහෝ බැතිමතුන් එහි නැවතී සමන් දෙවිඳුට භාර වී එහි වූ පහනින් තෙල් ස්වල්පයක් හිසෙහි තවරා ගෙන ශ්‍රද්ධාවෙන් ගමන අරභති. එහෙත් එහි සිටින කපු මහතාට මෙය එතරම් දිරවන්නේ නැත. ඔහු ආශිර්වාද නූලක් බැන්දවීමට යන එන ජන ගඟට ඉවරයක් නැතිව කෑ ගසයි. එය ප්‍රයිවට් බසයකට සෙනඟ Load කරන කොන්දොස්තර කෑ ගැසීමකට හෝ පේමන්ට් එකේ බඩු විකුනන වෙලෙන්දෙකුගේ කෑ ගැසීමට නොදෙවනිය. නූල ගැට ගසන ගමන් නියෝගාත්මක හඩින් ආධාරයක් කරන ලෙසද එසේ නැතිව යන්නට ලෑස්ති නොවන ලෙසද තර්ජනය කරයි. එය හරියටම ඉතා අඩුවට බෙල්ට් එකක් විකුනා ඒ විගසම එහි හිල් ටික විද, හිල් විදීම සදහා අස්ප ගණන් ඉල්ලන හා එය ගෙවීම ප්‍රතික්ශේප කරන කල්හි පාරිභෝගිකයාට තග දමන පිට කො‍ටුවේ පේමන්ට් වෙලෙන්දෙකුගේ බිස්නස් trick එකක් වැනිය.

ඉන් අනතුරුව එලඹෙන්නේ සිරි පා කරුණා කිරීමට මත්තෙන් පන්සිල් සමාදන් වීමට ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසටය. එහිද තවත් වෙලදාමකි. Non stop කැසට් පටයක් මෙන් ඉතා වේගයෙන් පිරිස පංචශීලයෙහි පිහි‍ටුවන චීවරධාරියා ( උන්නාන්සේට ස්වාමීන් වහන්සේ කීමට මට සිත දෙන්නේ නැත) ඉනික්බිති කපු කමට බසී. එහිදී සෝවාන් පලයට පවා පත් වූ සුමන් සමන් දෙවිඳුන්, ඉතා බියකරු කාලි දෙවඟන වැනි පලි ගන්නා දෙවියෙක් ලෙස චිත්ත රූපයක් සැදැහැවතුන්ගේ සිතේ නිර්මාණය කරමින් තම මූලික කර්තව්‍යට එලඹෙයි. මුදල් නොදී මග හැර යාමට සූදානම් නොවන ලෙස දන්වමින් සැමට ආධාර කරන ලෙස දන්වයි. මොහොතකට පෙර බියකරු කතා ඇසූ හුදී ජනතාවට තවත් කතා කුමටද? කට්ටියම පෝලිමේ ආධාර කිරීමට පෙල ගැසේ. සැදැහැ සිතින් ආධාර කිරීම යහපති. නමුත් මේවායේ සිදුවන්නේ දෙවියන් බුදුන් විකුණමින්, බිය වැද්දීම් සිදුකරමින් කෙරෙන් මුදල් මංකොල්ලයකි.

තවත් දුරක් ගිය තැන තවත් චීවරධාරියෙක් බැම්මක් උඩ වාඩි වී ඉතා ග්‍රාම්‍ය ලෙස ජනතාවට පසකින් පෙනෙන වෙලද කුටි කිහිපයක් පෙන්වමින්, එතැනට ගොස් ආශිර්වාද නූලක් පලදවා ගන්නා ලෙස දන්වයි. එය කිසිසේත්ම ස්වාමීන්වහන්සේ නමක් විසින් වදාරන සෞම්‍ය භාෂා විලාශය නොවේ. යන එන ගැහැණු ළමයින්ට විහිලු කරමින් ඔහු එතැන විකාර රූපී රංගනයක් කරයි. තවද ඔහු පෙන්වන ඒ කුටි වලදීද සිදුවන්නේ නැවතත් පිරිත් කලා යැයි පවසමින් නා නා වර්ණ නූල් අත පලදා මුදල් ඩැහැ ගන්නා ව්‍යපාරයකි.

මග දිගට විවිධ වෙලඳ ආයතන වලින් පවත්වන් දන්සැල්, සහන සේවා තිබුනි. තම වෙලඳ නාමය ප්‍රචලිත කර ගැනීම් ඔවුන්ගේ අභිප්‍රාය වුවද ඒ සෑම දන්සැලක්ම, සහන සේවාවක්ම සිය උපරිම සේවා සත්කාරය බැතිමතුන්ට ලබා දුන්හ. Dialog කතා දන්සැල, Samahan බාම් දන්සැල, Panadol හදිසි අනතුරු හා වෛද්‍ය ඒකකය ඒ අතර ලෙංගතු සේවා සැපයූවන් වූහ. ඊනියා (සිද්ධාලේප) වෙදා නම් එහිදීද වෙලද කටයුතු නිර්ලජ්ජී ලෙස සිදු කරමින් සිටියේය.

සීත ගඟුලෙන් පසු අපි මහා ජන ගඟකට මැදි වුනෙමු. නගින නඩත්, නැගල බහින නඩත් අතර මහා තදබදයකි. අපේ මිනිසුන්ට මූලික විනයක්, හික්මීමක්වත් නොමැති බව මට තවත් වරක් සැක හැර දැන ගැනීමට අවස්ථාව ලැබුනි. දකුනෙන් ගමන් කිරීමට පාසැල් යන කාලයේ සිටම හුරු කරවයි. රෝහල්, බස්-දුම්රිය නැවතුම්පලවල්, බැංකු වල දකුනෙන් ගමන් කරන ලෙස දන්වා බෝඩ් එල්ලා තිබේ. අඩි සටහන් ලකුණු කර තිබේ. එමගින් තදබදය ඉතා අවම කර ගත හැක. මන්ද දෙපැත්තටම ගමන් කරන්නන්ට මාර්ගය අවහිර නොවන බැවිනි. නමුත් ඒ සරල විනයවත් මා එකී ජන ගඟ තුල දු‍ටුවේ නැත. එම නිසා අඩියක් හෝ පෙරට තැබිය නොහැකිව තදබදයේ හා සීතලෙන් මිරිකි මිරිකී සිටීමට සැමට සිදුවිය. ඉතා විශාල පිරිසක් ඉහලටද, එපමනම පිරිසක් පහලටද ගමන් කරමින් සිටියහ. ඒ අනුව පහලට බසින්නන්ටද මාර්ගයේ සමාන ඉඩක් ලබා දිය යුතුව තිබුනද එම රීතිය ගරු කිරීමට බොහෝ දෙනෙක් මැලි වූහ. තවත් පිරිසක් පහලට බසින්නන්ටද ඉඩ ලබා දීමට පේලි දෙකක් පමනක් සෑදෙන්නැයි talks issue කරමින් ඔවුන්ම තවත් තුන්වැනි පලියක් නිර්මාණය කරමින් ඉදිරියට යමින් මග ඇහිරූහ. එක් අතකට කම්පා විය යුතු නැත. ලංකාවේ සෑම තැනකම සිදුවන දේ එතැන සිදු නොවී තිබීමට කිසිදු හේතුවක් නොමැත.

සිරිපා නගිද්දී කට පරිස්සම් කරගත යුතුයැයි කියන රීතියක් මා අසා තිබේ. නමුත් එවැන්නක් සිදුවන බවක් සිතීමට පවා මට සිදුවන වටපිටාවක් එහි නොවීය. කාන්තා පාර්ශවයට නොහොඹිනා- අවර කතා කියමින්, බුදු ගුණ කවි විකෘති කර ගායනා කරමින් හැසිරෙන තරුණයන් ඇති පදම් සිටියහ. ඔවුහු දුම්වැටි බිවූහ. ඔවුන් වෙතින් මත්පැන් ගඳ වහනය විය. ඔවුන් පාලනය කිරීමට පෙනෙන හෝ නොපෙනෙන බලවේගයක් එහි නොවීය. එසේම පාලනය විය යුතු යැයි කල්පනා වීමටවත් ස්වයං විනයක් ඔවුන් තුල ඇති බවක් පෙනෙන්නට නොවීය.

සිරි පා මලුවට යන මග දෙපස, පරිසරය සු‍රැකීමේ වැදගත්කම දැක්වෙන පුවරු ප්‍රදර්ශනය කර ඇත. අඩියෙන් අඩියට කසල බදුන් ඇත. එහෙත් මග දිගටම පරිසරය අපවිත්‍ර කරමින් පොලිතීන් හා අනෙකුත් අපද්‍රව්‍ය විසුරුවා ඇත. සීත ගඟුලටද මේ අමන ‍රැලගෙන් ගැලවීමට හැකි වී නැත. එහිද පොලිතීන්, ප්ලස්ටික් බෝතල් ආදී අපද්‍රව්‍ය පා වෙමින් පවතී. මේ රටේ මිනිස්සු තනිකරම කෙලින්නේ පිස්සුයැයි කී කතාව තුන් කල් බලා කීවකි. බැතිමතුන් සිරි පා කරුණා කිරීමට මත්තෙන් නා පිරිසුදු වෙන සීත ගඟුලටද කැලි කසල දමන වසලයන්ගෙන් විනයක් බලාපොරොත්තු විය හැකිද?

‍රැය පුරා නිදි වරා අවසන උඩ මලුවට කරුණා කලෙමු. බුද්ධාලබ්භන ප්‍රීතියෙන් අති දුෂ්කර ගමන් මඟක් අවසන් කර අති උතුම් ශ්‍රී පාදය වන්දනා කිරීමට බලාපොරොත්තුවෙන් මලුවට පිවිසෙන්නන්ට එතැන සිටින පුද්ගලයන්ගේ (කපුවන් විය යුතුයැයි සිතමි) ගණන් බැලීමට සිදිවේ. තදියම් කරමින් බැතිමතුන්ගේ බෙල්ලෙන් අල්ලා ශ්‍රී පාදයට හිස පහත් කරන ඔවුහු, කුඩා දරුවෙක් අත‍රැදි මවක්, වයසක කාන්තාවක් විවිධ දුෂ්කරතා හේතුවෙන් වන්දනා මාන කිරීම අංශු මාත්‍රයකින් හෝ පමා වේ නම් රොස් හඩින් මොර දෙති. එවැනි නොහොඹිනා හැසීරීම් හමුවේ කෙතරම් පූජනිය වස්තුවක් හමුවේ වුවද පෘතංජන අපේ හිතට ක්‍රෝද සහගත සිතුවිලි නැගීම නොවැලැක්විය හැකිය.

පහලට කරුණා කරද්දී එතරම් තදබදයක් නොතිබූ බැවින් දෙයියනේ කියා ඉක්මනින් සිරිපා පා මුලට කරුණා කලෙමු. කෙසේ නමුත් මා එදා කරුණා කලේ මා දැන සිටි සිරි පා ගමන නොවේයැයි මට හැඟේ. එහි එතරම්ම අවර, නින්දිත, විනය හා රීති විරෝධී, බුදු දහමට නිගා දෙන දෑ සිදුවිය. සමන් දෙවි අඩවියේ සිදුවන මෙවැනි නොපනත්කම් ඔබ වහන්සේ ඉවසා වදාරනවාද? නැතහොත් සෝවාන් ඵලයට පවා පත්වූ කරුණාබර ඔබ වහන්සේ මෙම නොපනත්කම් හමුවේ කල කිරී මෙම පූජා භූමියෙන් පිටවී ගොස්ද? සියල්ල අවසන මා තුල ඉතිරි එම සිතුවිල්ල පමණි.

Tuesday, March 22, 2011

විකාර රූපී 8 - Live @ 8


ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නැරඹීම දඩුවමක් බවට පත් වී තිබේ.

මෙසේ කියන මා අහවල් එකකට ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නරඹන්නේද යන්නද, අකමැතිනම් වෙන චැනල් එකක ප්‍රවෘත්ති නැරඹිය හැකි නොවේද යන්නද ඔබ විමසනු ඇත.

එහෙත් එවැන්නකින් නොනැවතී මෙවන් ලිපියක් ලිවීමට තරම් චර්ම අමාරුවක් මට ඇත්තේ, Live @ 8 ආරම්භ වූ සමයේ පටන් එය නැරඹීමට මා පුරුදුව සිටි බැවිනි. එමෙන්ම එදා මෙදා තුර ස්වාධීන ප්‍රවෘත්ති කලාවක් කඩේ යන, පීචං, ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කරන ප්‍රවෘත්ති කලාවක් බවට පත්වනු රූපවහිනිය ඉදිරිපිට සිට මා නැරඹූ බැවිනි.

දැන් වැරදීමකින් හෝ එය නරඹන්නේ කියන කතා segment එක බලා අගමැතිතුමා හෝ මර්වින් ආචාර්යතුමා කියන Joke එකක් දෙකක් බලා හීන් ආතල් එකක් ගැනීමට පමනි.

හේම නලීන්ලා, අරුණ් ඩයස්ලා ආරම්භ කල විකල්ප, සංවාදශිලි, නිර්මාණාත්මක ප්‍රවෘත්ති කලාව අද අපි නොදන්න Live වැඩසටහනක මට්ටමට පත්වී තිබේ. එක අතකින් එසේ කීම අපි නොදන්න Live වැඩසටහනට කරන නිග්‍රහයකි. මන්ද අපි එය නරඹන්නේ සිනා සී ආතල් එකක් ගැන්මට බැවිනි. නමුත් ආණ්ඩුවේ නොවන නාලිකාවක ප්‍රවෘත්ති අප නරඹන්නේ රට තොට සිදුවන දෑ ගැන නිවැරදි අවබෝධයක් ගැනීමට, ප්‍රවෘත්ති වටිනාකමක් ඇති යමක් නැරඹීමට මිසක් ආතල් ගැනීමට, කවි ඇසීමට හෝ ප්‍රශස්ති ගායනා වලට කන් දීමට නොවේ.

දින වකවානු හරියටම මතක නැතත්, Live @ 8 ආරම්භ වූයේ අනූව දශකයේ අග භාගයේ බව මට මතකය. එවකට සතියට දින තුනක් පමනක් විකාශනය වූ එය නිර්මාණශීලී කලාවක් විය. රට පිලිගත් මාද්‍යවේදීන් දෙපලක් සංවාදශීලී ලෙස ගෙවුන පැය 48 තුල සිදුවූ දෑ නරඹන්නන්ට ඉදිරිපත් කලේය. එය සාම්ප්‍රදායික ප්‍රවෘත්ති කලාව නොවීය. නමුදු විකල්ප, නැවුම් කලාවක් විය. ඔවුන් අනුගමනය කල රාමුව තුල එකී සංවාදාත්මක කලාව ගෝචර විය.

ලැබූ ජනප්‍රියත්වය කරණ කොට ගෙන එය පලමුව සති අන්තයටත්, ඉක්බිතිව මුලු සතිය පුරාත් විකාශනය වන වැඩසටහනක් බවට පත් විය. සතියේ දින සතටම ව්‍යප්ත වූ කල live & 8, ප්‍රවෘත්ති නිවේදකයන් දෙදෙනෙකු ඉදිරිපත් කරන සාම්ප්‍රදායික ප්‍රවෘත්ති කලාවක් බවට පත්විය.

එනමුදු තවදුරටත් එය අභීත, ස්වාධීන ප්‍රවෘත්ති කලාවක් විය. නිර්මාණශීලී ප්‍රවෘත්ති කලාවක් විය. ඔවුන් පක්ෂ, විපක්ෂ සැමට සමතැන දුන්නේය. ප්‍රවෘත්තිය අතරතුර තිරය පහලින් අදාල ප්‍රවෘත්තියේ සාරාංශය වැදගත් ග්‍රාම්‍ය නොවන සරල බසකින් පෙන්වීම ආරම්භ කලේ ඔවුන්ය. කොටින්ම කියතොත් රාමුව වෙනස් කලද විහිලු නොසයපා, වගකිවයුතු අයුරින් ප්‍රවෘත්ති වටිනාකමක් ඇති පුවත් සපයමින් නැරඹිය යුතු යැයි ප්‍රේක්ෂකයාට දැනෙන මට්ටමට ලඟා වීමට ඔවුනට හැකි විය.

යුද්ධය පැවති කාලයේ ස්වකීය මාධ්‍යවේදීන් යුධ බිමට යවා යුධ පුවත් වාර්තාකරණයේ ඉහල මට්ටමකට ඔවුන් පත්විය.

හරියටම ඉරක් ගසා මෙතනින්යැයි වෙන් කල නොහැකි වුවද මෑත කාලයේ සිට ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති පරාධීන, මාධ්‍ය ආචාර ධර්ම තුට්‍ටුවකට මායිම් නොකරන, විහිලු සපයන අංගයක් බවට පත්වී තිබේ.

සත්‍යය පලමුව අප වෙත ගෙන ඒමට වලි කන ඔවුන්ට Megastar වැඩසටහනේ අවසානයේ සිදුවූයේ කුමක්දැයි පවසා ගත නොහැකි තරමට අසරණ විය.අවසානයේ පලමුව කෙසේවෙතත් පැය 12-13 ගත්වූ තැන විකාශනය වූ ප්‍රවෘත්ති විකාශනයේදී ඔවුන් ප්‍රකාශ කලේ උක්ත තරගය අතිඋත්කර්ශවත් අන්දමින් නිමාව දු‍ටු බවය. එහි උත්කර්ශවත් නිමාව හා ප්‍රවෘත්තියේ සත්‍යතාව ගැන මතක් කරද්දී සිනහ වීමට හිදගෙන සිටින පු‍ටුවෙන් මදක් එසවිය යුතුය.

වර්තමානයේ පුවත් විකාශය තුල ආණ්ඩුවට හා විපක්ෂයට ලබා දී ඇති කාල ගැන බලද්දී විටක මට සිතෙන්නේ මේ නරඹන්නේ ආණ්ඩුවේ හොරණෑවක්ද යන්නය. ප්‍රවෘත්ති වටිනාකම කෙතරම් අඩුවුවද පලමු විනාඩි 5 පමණ ගතවෙන්නේ ජනාධිපතිතුමා කෑ හැටි, බිව් හැටි, උදාන වාක්‍යක් පාරම් බෑ හැටි පෙන්වීමටය. බොහෝ විට එදින වැදගත්ම ප්‍රවෘත්ති ගොනු වන්නේ "රටම කෙටියෙන්" අංගයටය. විපක්ෂ මාධය සාකච්චාවකට, උද්ඝෝෂණයකටද ඊට මෙහා ප්‍රවෘත්ති වටිනාකමක් නොලැබෙන තරම්ය.

හරේන්ද්‍ය කවි කියයි. ප්‍රවෘත්තිය ඔහුම විශ්ලේෂණය කර ඔහුට හිතෙන නිගමනය කවියෙන් හෝ, සී පදයකින් හෝ, හඩන්නට ඔන්න මෙන්න වූ මුහුණකින් කියයි. රටේ ප්‍රේක්ෂක ජනතාව යනු ප්‍රවෘත්තියක සිදුවීම නරඹා, අසා, ඒ පිලිබද ස්වකීය මතයක්, නිගමනයක් ගොඩනගා ගත නොහී අමන ‍රැලක් ලෙස ඔහු සිතා ගෙන ඇති අයුරකි. එක අතකට තමා ඉදිරිපත් කරන ප්‍රවෘත්ති විකාශය මුව අයා බලා සිටින්නන් ගැන ඔවුනට එවන් තක්සේරුවක් තිබීම ගැන ඔවුනව වැ‍රැද්දක් පැවසීමටද නොහැක. මාධ්‍යකරුවන්ට සිද්ධි වාර්තා කිරීම හැර ඒ පිලිබද තම මතිමතාන්තර නරඹන්නන්ට පොවන්නට සදාචාරාත්මක අයිතියක් නැත. ඒ අතින් සිරස ඉදිරියෙන් සිටී. ඔවුන්ගේ ප්‍රතිපත්තිය වනාහි, We Report, You Decide යන්නය. තීරණාත්මක, විවාදාත්මක අවස්ථාවලදී අදාල රූපරාමු පමනක් පෙන්වනව හැරෙන්න ඒ පිලිබදව අ‍ටුවා ටීකා කියා ප්‍රේක්ශකයන්ගේ තීරණය කිරීමේ නිදහසට ඇගිලි ගසන්නට ඔවුන් උත්සාහ කරන්නේ නැත.

මුලදි ඔවුන් විසින්ම හදුන්වා දුන්, ප්‍රවෘත්තිය යටින් දිස්වන පාඨයන්ද දැන් දැන් ග්‍රම්‍ය භාෂාවට පත්වෙමින් තිබේ. අපි කුඩා දරුවන් සමයේ ප්‍රවෘත්ති ඇසුවේ ව්‍යාකරණ, නිවැරදි වචන උගන ගැනීමේද පරමාර්තයෙනි. පසු කලක සිරස විසින් කතා කරන භාෂාවේ ප්‍රවෘත්ති කලාවක් ආරම්භ කලේය.එවකට එය අතිශයෙන්ම විවේචන වලට ලක්විය. එනමුදු දැන් දැන් ස්වර්ණවාහිනිය තව තවත් දුර යමින් උප සංස්කෘතිය ග්‍රාම්‍ය භාෂා විලාශයකට මාරු වී ඇත. වචන හරියම මතක නැතත්, විලියම් හා කේට් විවාහ ගිවිස ගැනීම ප්‍රකාශ කල ප්‍රවෘත්තියේ පහලින් දර්ශනය වූ වැකි අතිශය ග්‍රාම්‍ය විය.

යුද්ධය අවසන් වත්ම සියලුම රූපවාහිනී නාලිකා වලට ප්‍රවෘත්ති හිඟ විය. සිරස එම අඩුව පුරවා ගත්තේ රනිල් එලවන විවිධ මෙහෙයුම් අරඹමිනි.Live @ 8 එම අඩුව පුරවා ගැනීමට විවිධ නාට්‍යමය ජවනිකා හදුන්වා දෙන්නට පටන් ගත්තේය. දැන් දැන් Live @ 8 නරඹනවා යනු විවිධ segments වලින් යුතු අපි නොදන්න Live වඩසටහනක් බලනවා වැනිය. දවසේ වැ‍රැද්ද ලෙස වැඩ සටහනක් ආරම්භ කර ඉතා බහුලව සිදුවන, -විශේෂයෙන්ම කාර්යබහුලත්වය සමග මිනිසුන් අතින් නොවැලැක්විය හැකිව සිදුවීමට යෙදෙන- සිදුවීම් වලට කැමරාව මානා ඔවුන් ජාත්‍යන්තර මට්ට්මේ අපරාධකරුවන් බවට පත්කරමින් Live @ 8 ඇත්තෝ හීන් ආතල් එකක් ගනිති. ඉතා කලාතුරකින් පෙන්වදෙන වරදි සැබවින්ම වැරදි ලෙස පිලිගෙන නිවැරදි කර ගත යුතු වුවද, එම විශේෂාංගයේ පෙන්වන අති බහුතරයක් වූ සිදුවීම් ඇතැම් විට ඔවුන් පවා සිදුකරන ඉතා සරල මට්ටමේ සිදුවීම්ය. කහ ඉරෙන් පාර මාරුවන්නේ නම් යෙහෙකි. නමුදු සැම සියලු විටම කහ ඉරි සොය සොයා ලතවෙන්නට මිනිසුන්ට වේලව නැත. සුරක්ෂිතව වෙනත් ස්ථනයකින් පාර මාරු විය හැකිනම් එය අපරාධයක් නොවේ. මූණට කැමරාව මානා මිනිසුන් අපහසුතාවයට පත්කිරීමට Live @ 8 ඇත්තන්ට අසීමිත ආශාවක් තිබේනම් ඔවුන් කල යුත්තේ රටේ සිදුවන මහා පරිමාන දූෂණ, වංචා ගැන වගකිව යුතු මාධ්‍යක් ලෙස සොයා බැලීම නොවේද?

දැන් දැන් Live @ 8 නාට්‍යමය ජවනිකා වලින් පිරී යමින් පවතී. එහි කූටප්‍රාප්තිය ලෙස මේ වන විට "අකමැති මතක" ලෙස නාට්‍යමය විශේෂාංගයක් ඊට එකතුවී ඇත. සිපිරි ගෙයි ‍රැදවියන්ගේ අත්දැකීම් ඇසුරෙන් නිපදවෙන එය දැන් දැන් Live @ 8 වල ප්‍රවෘත්ති ඌණතාවයට ගොඩ දැමීමට ලැජ්ජාශීලී ලෙස භාවිතා වෙමින් පවතී. එහි රගපෑම සදහා නවකයන්ට දැන්වීම් පලකරන්නේද ප්‍රවෘත්ති විකාශය අතරතුර දීමය. සමාජයට පාඩම් ඉගැන්වීමටයැයි පවසමින් අවසානයේ හිරිකිත අත්දැකීම් වෙන්දේසි කිරීමට තරම් ස්වර්ණවාහිනිය නිර්ලජ්ජී වී තිබේ.

විපක්ෂයේ පුවත්, විදෙස් පුවත් වලට සාධාරණ ඉඩක් ලබා දෙන්නේ නම් හරේන්ද්‍ය ඇතුලු නඩයට මෙබදු විකාර රූපී විශේෂාංග වලින් ප්‍රවෘත්ති විකාශය පිරවීමට අවශ්‍ය නොවනු ඇත. එක අතකට ලංකාවේ හරක් ‍රැල අනුන්ගේ කුනු කතා රස කර කර අනුභව කරනතාක් කල් Live @ 8 ‍රැලට තම අමනකම් තෙරුම් ගැනීමට අවශ්‍යතාවක් ඇති නොවනු ඇත.

මෙය කියවන ඔබට තවමත් Live @ 8 යනු නැරඹිය හැකි මට්ටමේ ප්‍රවෘත්ති විකාශයක් වීමට පුලුවන. එහෙත් ආරම්භයේ සිට Live @ 8 ගමන් මග දු‍ටු මගේ මතයට ඔබද නොබෝ දිනකින්ම එකඟ වනු ඇත. මන්ද යත්, ප්‍රේක්ශක ජනතාවට එසේ සිතීම වැලැක්වීමට live @ 8 නිෂ්පාදකත්වයට කිසිදු අවශ්‍යතාවක් ඇති බවක් පෙනෙන්නට නොමැති නිසාවෙනි. ඊට වඩා ආණ්ඩුවට කඩේ යාම ආතල්ද කියා දන්නේ එහි නිෂ්පාදකත්වක හා පරිපාලනය පමනි.

Saturday, June 26, 2010

ගබ්සාව, සංස්කෘතිය හා ඇය

ගබ්සාව යන වදන අප සංස්කෘතියට අනුව අපට එතරම් ශිෂ්ඨසම්පන්න නොවූවද, අවාසනාවකට අද සමාජයේ එය ප්රධාන ප්රශ්නයක් බවට පත්වී තිබේ. නිර්මල බුදු දහම රදා පවතින ධර්ම රාජ්යයේ මෙම ප්රශ්නය කෙතරම් ඔඩු දුවා අත්දැයි කිවහොත් දැනට වර්ෂයකට ශ්රී ලංකාව තුල සිදුවන ගබ්සා ප්රමාණය 175,000 පමණ වේ.එය ශ්රී ලංකාවේ වාර්ෂික උපත් ප්රමාණය වන 335,000න් හරි අඩකට ආසන්න වේ. තවත් අයුරකින් අර්ථ නිරූපණය කලහොත් සෑම උපත් දෙකකටම වරක් නීතිවිරෝධී ගබ්සාවක් රටේ කොතැනක හෝ සිදුවේ. ගබ්සාව නීතියෙන් තහනම් රටක, ප්රමිතියකට නොවූ ප්රතිකාර ක්රම තුලින් මෙතරම් ගබ්සාවන් ප්රමාණයක් සිදු වීම තුල කෙතරම් කාන්තාවන් සංඛ්යාවකගේ ජීවිත වාර්ෂිකව අවදානමට පත් වේදැයි අමුතුවෙන් පැහැදිලි කල යුතු නොවේ. එබැවින් අප විසින්ම පැනවූ නීති රීති, සමාජ සම්මත තුල අපේක්ෂිත ප්රතිඵල නොලැබීම හා අවසන සියල්ල හොර පාරෙන් සිදුවී අසරණ කාන්තාවන් සිය ජීවිත අවදානමකට ලක් කර ගැනීම තුල එකී නීති, සමාජ සම්මතයන් හා ආකල්ප පිලිබදව නැවත විමසා බැලිය යුතු කාලය එලබ ඇත.

පිලිබදව විමසා බැලීමට මත්තෙන් ගබ්සාව,ගබ්සා නීතිය හා ඊට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වන මත පිලිබදව අවබෝධයක් ලබා ගැනීම වටී.

ගබ්සාව නීතිය ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට එක් වූයේ 1883දීය!!. එහි සදහන් වන ආකාරයට ගබ්සාවක් සිදුකිරීම නීතියෙන් අනුමත කල හැක්කේ කළලය කුස දරා සිටීමේදී හෝ ප්‍රසව ක්‍රියාවලියේදී ඉන් මවගේ ජීවිතයට හානියක් වේනම් පමණි.ඒ අනුව ශ්‍රී ලංකාව මවගේ ජීවිතය අවදානම් වන අවස්ථාවකදි පමණක් ගබ්සාව නීතියෙන් අනුමත කරන ලෝකයේ රටවල් 21% ප්‍රතිශතයට අයත් වේ. (ලෝකයේ රටවල් අතුරින් 61% ගබ්සාව නීතියෙන් අනුමත කර ඇත!)

පවතින ගබ්සා නීතිය සංශෝදනය කර ස්ත්‍රී දූෂණයකින් පසුව, කළලයේ විකෘතිභාවයක් ඇති බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වූ විට හා මවගේ ජීවිතයට අවධානමක් ඇති විට ගබ්සාව සිදුකල හැකි පරිදි යෝජනාවක් 1995දී ඉදිරිපත් වුවද එය සම්මත වූයේ නැත.

කළලයක ජීවය ආරම්භ වන්නේ සංස්ලේචනය සමගින් බවත්,සංස්ලේචන ක්රියාවලිය තුලදීම කළලයට අනන් වූ DNA නිපදවෙන බවත්, එම නිසා සංස්ලේචනයෙන් පසු කවර හෝ අවස්ථාවක සිදු වන ගබ්සාව වනාහි වරදක් නොමැති ජීවියෙකුගේ ප්රාණය උදුරා ගැනීමේ සදාචාර විරෝධී ක්රියවක් බව ගබ්සාවට විපක්ෂ පාර්ශවය ඉදිරිපත් කරන ප්රධානතම කරුණය. තවද යමෙකු ගර්භනී මවක ඝාතනය කිරීම,ගර්භනී නොවන කාන්තාවක් ඝාතනය කිරීමට වද දැඩි දඩුවම් පැමිණිය හැකි වරදක් ලෙස නීතියෙන් අර්ථ දක්ව ඇති තත්වයක් තුල, ගර්භනී කාලයෙන් ස්වායක්තව කළලය තවත් ජීවියෙකු ලෙස සලකන බව ඔවුන් පෙන්වා දේ.

ගබ්සාවට පක්ෂ පාර්ශවය මේ පිලිබදව දක්වන අදහස වනුයේ සංස්ලේචනයේ සිට සති 24 පමණ වනතුරු කළලය ස්වකීය සියලු මූලික ජීවී අවශ්යතා සදහා මව මත යැපෙන බැවින් එතෙක් එය වෙනත් ජීවියෙකු ලෙස සැලකිය නොහැකි බවය.

කෘතීම සංස්ලේචනය හෙවත් In vitro fertilization ක්රියාවලියේදී ඩිම්බ කිහිපයක් ශුක්රාණු කිහිපයක් හා වෙන වෙනම සිරුරෙන් පිටතදී මුහුකර ඉන් සෑදෙන යුක්තානු අතරින් වඩාත්ම නිරෝගී කළලය තෝරා ගෙන එය මවගේ ගර්භාශයේ තැම්පත් කෙරේ. එහිදී ඉතිරි කළල වලට සිදුවන්නේ ජීවයක් නොලබා ඉවත් වීමටය. කළලය යනු ජීවයේ ආරම්භය නම් උක්ත ඉවතලන කළල කිහිපය යනු සමූහ මිනී මැරුමකි. කරුණු කාරණා එසේ වන විට ගබ්සාවට විපක්ෂ උදවිය කෘතීම සංස්ලේචනය ක්රියාවලිය හෙලා නොදැකීම ගැටලු සහගත වේ.

තවද සිය සිරුරේ අයිතිය සෑම පුද්ගලයෙකුටම ඇති නිසා කාන්තාවට සිය සිරුරේ ප්රජනක අයිතිය හා පාලනය වෙනුවෙන් කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැති විය යුතුය. අනුව කළලය තමාට අනවශ් නම් එය ඉවත් කිරීමට කාන්තාවට අයිතියක් තිබිය යුතුය. නමුදු එම සංකල්පය ඔස්සේම විමසූ විට උපත් පාලන ක්රම භාවිතයෙන් හෝ ලිංගිකව එක් නොවීම තුලින් අනවශ් ගැබ් ගැනීමෙන් වැලකීමද සිරුරේ අයිතිය හා පාලනය යන සංකල්පයටම අයත් වේ.

ගබ්සාවට පක්ෂ පාර්ශව මූලිකම මතු කරන කාරණය වන්නේ එය ස්ත්රී දූෂණයකදී හෝ අපචාරයකදී වින්දිතයන්ට ලබා දිය හැකි සහනයක් ලෙසය. නමුදු ඊට විපක්ෂ පාර්ශවය සදහන් කරන්නේ එවන් අතවරයකට පසුව වුවද හදිසි උපත් පාලන පෙති භාවිතයෙන් අනවශ් ගැබ් ගැනීම් වලකා ගැනීමට ඕනෑ තරම් ඉඩ ඇති බවය. දූෂකයාට දඩුවම් කරනවා මිසක දූෂණයේ ඵලයක් වූ අහිංසකයෙකුට දඩුවම් කිරීම ඵල රහිත බව ඔවුන් පෙන්වා දේ. නමුත් දූෂණයක්/අතවරයකට පසු කාන්තාව මුහුණ දෙන මානසික පීඩාව ගැන මොවුනට අවබෝධයක් ඇති සැටියක් නැත. තමන් මුහුණ දුන් අනපේක්ෂිත ව්යසනය හමුවේ දැඩි මානසික කම්පනයකට -Post traumatic stress disorder- පත් වන ඇය බොහෝ වේලාවට එම සිදුවීම පිලිබද කතා කිරීමට, නැවත සිහි කැදවීමට පවා බිය වේ. එවන් මානසික පසුබිමක් තුල හදිසි උපත් පාලන පෙති ලබා ගැනීම මඟ හැරීම අතිශය සාමාන් සිදුවීමක් ලෙස මිස වින්දිතයාගේ වරදක් ලෙස නොසැලකිය යුතුය. තවද මෑත කාලීනව ගබ්සාව ආශ්රිත නීති පිලිබද දැනීම, ආකල්ප පිලිබදව ගර්භනී මවුවරු සහභාගී කර ගනිමින් සිදුකල සමීක්ෂණයකදී 75% මවුවරු පවසා ඇත්තේ මවගේ ජීවිතයට අනතුරක් වන අවස්ථාවකදී, ස්ත්රී දූෂණයකදී හෝ අපචාරයකදී, මවට දරුණු මානසික රෝගයක් ඇති අවස්ථාවන්හිදි හා කළලයේ ආබාධිත තත්වයක් තහවුරු වූ අවස්ථාවකදී ගබ්සාවක් සිදු කිරීමට හැකි පරිදි නීති රීති සකස් විය යුතු බවය. (1)

ගබ්සාව යනු ශාරීරික සංකූලතා (නැවත පිලිසිද ගැනීමකදී ගර්භාශයෙන් පිටත සිදු වන පිලිසිද ගැනීම්-ectopic pregnancy ,ස්වාභාවික ගබ්සා වීම්- Miscarriages- ,ශ්රෝණියේ ආසාදන-pelvic Inflammatory diseases-), ඇතැම් විට මරණය පවා ගෙන දෙන්නක් බව ඊට විපක්ෂ පාර්ශවය ගෙන එන කරුණකි. සැබවි. ගබ්සාවක සංකූලතා ඇතිවීමේ සම්භාවිතාව කෙරෙහි එය සිදු කරන්නාගේ වෛද් දැනුම හා හැකියාව, භාවිතා වන තාක්ෂණය හා උපකරණ, සැත්කම සිදුකරන ස්ථානයේ පිරිසුදු බව හා මවගේ සෞඛ් තත්වය, ගර්භනී කාලය යන කරුණු මූලිකවම බලපායි. ගබ්සාව නීති විරෝධී ශ්රී ලංකාවේ එය රහසේ, සම්මත තත්වයන්ගෙන් බැහැරව, නිසි පුහුණුවක් නොලැබූවන් විසින් සිදු කිරීමෙන් සිදුවන මාතෘ මරණ ප්රමාණය ලංකාවේ මාතෘ මරණ අනුපාතිකයෙන් 5-6%කට දායක වේ. ඛේදජනක තත්වය වනුයේ මෙම මරණ ප්රමාණය ඉතාමත් පහසුවෙන් අවම කරගත හැකි ප්රමාණයක් බැවිණි.

අප අසල්වැසි ඉන්දියාවේ 1972 සිට ගබ්සාව නීතිගත කර තිබුණද නිසි සෞඛ් පහසුකම් ඌන වීම තුල සිදු කෙරෙන අනාරක්ෂිත ගබ්සා ප්රමාණය වසරකට මිලියන 6.2කි!!. එය ඉන්දියාවේ වාර්ෂික ගබ්සා ප්රමාණයෙන් 92%කි. එම අති මහත් අනාරක්ෂිත ගබ්සා ප්රමාණය ඉන්දියාවේ වාර්ෂික මාතෘ මරණ අනුපාතිකයෙන් 20% වග කියයි.(2)කෙසේ නමුදු නිසි පුහුණුව ලැබූවන් විසින් සම්මත තත්ව යටතේ සිදු කරන ගබ්සාවන්හි සංකූලතා ඇති වීමේ අවදානම 0.5%ටත් වඩා අඩු ප්රමාණයකි.

ගබ්සාව යනු තවත් උපත් පාලන ක්රමයක් නොවන බව ඊට විපක්ෂ පාර්ශව ගෙන එන මතයකි.එනමුදු ඔවුන් සම්මතයැයි පවසන උපත් පාලන ක්රම පවා ඇතැම් විට අසාර්ථක වන බව පිලිගත් කරුණකි. එවන් අවස්ථාවක අනවශ් දරු ගැබක් ඉවත් කිරීමට ගබ්සාව හැර වෙනත් මඟක් වේද?තවත් අතකට එවන් උපත් පාලන බාධක පවා බිද දමා හට ගන්නේ ලෝකයටම අවශ් දරුවෙක් විය නොහැකිදැයි කෙනෙකුට තර්ක කල හැක.

ගබ්සාව පිලිබදව දැනුම, ආකල්ප හා යොමු වීමට හේතු සෙවීමට ගබ්සාවක් අපේක්ෂාවෙන් සිටින ශ්රී ලාංකික මවුවරුන් ආශ්රිතව කල සමීක්ෂණයකින් හෙලිවන්නේ බහුතරයක් තවමත් ගබ්සාව යොදා ගන්නේ උපත් පාලන ක්රමයක් ලෙස බවය. 38.6% ප්රමාණයක් මවුවරුන්ට ගබ්සාව සිදු කර ගැනීමට හේතුව වී තිබුනේ බාලම දරුවාගේ වයස අඩු වීම, දරුවන් 3කට වඩා සිටීම යන කරුණුය.(3)

බොහෝ වේලාවට ගබ්සාවට යොමු වන්නේ වයසින් හා ජීවන අත්දැකීම් වලින් අඩු කාන්තාවන් බවත්, වයසින් මුහුකුරා යත්ම තම සිදු කල දේ ගැන ඇතිවන පසුතැවීම, වරදකාරී හැඟීම නිසා ඔවුන් ජීවිත කාලයෙන් වැඩි කොටසක් දැඩි මානසික අසහනයෙන් පෙලෙන බවත් ගබ්සාවට විපක්ෂ පාර්ශවය මතුකරන තවත් කාරණවකි. නමුදු තවත් සමීක්ෂණයක් පෙන්වා දෙන පරිදි ශ්රී ලංකාවේ ගබ්සාවන් සිදු කර ගන්නා අති බහුතරය වයස 30-34 පමණ වේ. මෙය ජීවිතය ගැන තීරණයක් ගැනීමට අපහසු වයසක් ලෙස සැලකිය හැකි නොවේ.(4). තවද මුලු ගබ්සා ප්රතිශතයෙන් 10% වූ අවිවාහක යෞවනියක් වුවද දිගටම දරු ගැබ පවත්වා ගෙන යාමෙන් තරුණ වයසේදීම දැඩි චිත්ත පීඩාවකට, සමාජ අපවාදයකට ලක්වේ. සමාජය අප සිතන තරම් කාරුණික නොවේ. ඇතැම් විට ඇයට දරුවා ඇති දැඩි කිරීමට පාසල් ජීවිතයට ආයුබෝවන් කීමට සිදු වනු ඇත.සිය ජීවන ඉලක්ක සපුරා ගැනීමට නොහැකිවනු ඇත. මේ සියල්ලටමත් වඩා මුහුකුරා නොගිය ඇයගෙන් දරුවාට නිසි පූර්ව, පසු ප්රසව රැකවරණය නිසි පරිදි ලැබේ යැයි සහතික කල නොහැක. ජීවිතයේ සිදුවන එක් අත් වැරදීමක් වෙනුවෙන් ඇය තමාගේ මුලු ජීවිතයම කැප කල යුතුයැයි පැවසීම කෙතරම් අමානුශිකද?

ගබ්සාවට ප්රතිවිරුද්ධ පාර්ශ්වය පවසන පරිදි ගබ්සාවක් යනු දැඩි මානසික ආතතියකට කාන්තාව බඳුන් වන ක්රියාවලියකි. තවද ගබ්සාවකින් පසුව ඇති වන පශ්චාත් ගබ්සා අවස්ථාව යනු කාන්තාව දැඩි ලෙස මානසික අවපීඩනයකට බඳුන් වන කල පරිච්ඡේදයකි. නමුත් යම් හෙයකින් අවිවාහය යෞවනියක් අවජාතක දරුවෙකු හදා වඩා ගතහොත් ඇය හා දරුවා ජීවිත කාලය පුරාවට මුහුණ දෙන සමාජ අපවාද හා ආශ්රිත මානසික කඩාවැටීම සලකා බලනු වටී.

නූතනයේ වෛද් විද්යාව ඉතා දියුණුය. කළල අවස්ථාවේදීම ඉන් සෛල හා පටක ලබා ගෙන ජාන විද්යාත්මක පරීක්ෂණ මගින් නූපන් දරුවාට අනාගතයේ ඇතිවිය හැකි රෝගී තත්ව, ආබාධිත තත්ව පිලිබදව අනාවැකි පල කිරීමට ජාන විද්යාවට හැකිය. අනුව යම් හෙයකින් ගබ්සාව නීති ගත කලහොත් මිනිසුන් විසින් එය ආබාධිත, බුද්ධි හීන, රෝගී දරුවන් කළල අවස්ථාවේම විනාශ කිරීමට යොදා ගනු ඇත. කාගෙත් ප්රාර්ථනාව නිරෝගී, බුද්ධිමත් දරුවෙක් නොවේද? යම් හෙයකින් එය එසේ වුව හොත් අසාමාන්, රෝගී දරුවන් මෙලොව එලිය නොදකිනු ඇත. ඉන් අදහස් වන්නේ ඔවුන් ලෝකයාට අනවශ් බවද? බිහිරි Beethovan ලොවට දායාද කල මියුරු සංගීත නිර්මාණ කොපමනද? ආබාධිතයන්ට ලෝකයට අමරණීය තිලිණ දායාද කල හැකිය. ඔවුන්ටද ස්වාධීන, ආත්ම විශ්වාසයක් සහිත ජීවිත ගත කල හැකිය.

අනවශ් කළලයක් ගබ්සා නොකර විකසනය වීමට ඉඩ හැර එම දරුවා උපන් පසු දරුවන් හදා වඩා ගැනීමට රිසි කැපකරු මාපියන්ට ලබා දීම ගබ්සාවට විකල්පයක් ලෙස ගබ්සා විරෝධීන් පවසයි. නමුදු සිය කුස තුල දරුවෙකු ඇති දැඩි කර, ප්රසව අවස්ථාවද අත් විදීමේදී මව හා දරුවා අතර දැඩි ආත්මීය බැදීමක් ඇතිවන බවත් එබැවින් දරුව උපන් පසුව දරුවා මවැන් ඈත් කිරීම මවට විශාල මානසික කම්පනයක් ඇති කරන්නක් බවත් ගබ්සාවාදීන්ගේ මතයයි.

ගබ්සාවන් සිදු කිරීම වෛද් වෘත්තිකයන්ගේ දිවුරුම හෙවත්, හිපොක්රටික් දිවුරුමට පටහැනි බැවින් ගබ්සාවන් නීතිගත කිරීමෙන් එකී වෘත්තීමය රීති බිද වැටෙන බව ගබ්සා විරෝධීන් පෙන්වා දෙති.

යම් හෙයකින් ගබ්සාව නීතිගත කලහොත් එය නිදහස් සෞඛ්යයේ අංගයක් බවට පත්වේ. එවිට සදහා වැය කෙරෙන්නේ ජනතා බදු මුදල්ය. බහුතරයක් ජනතාව තමා ආණ්ඩුවට ගෙවන බදු මුදල් ගබ්සාව වැනි ( ජීවිත විනාශයක්යැයි අප සංස්කෘතිය මඟින් සිතීමට පොලඹ වූ) ක්රියාවකට යොදවනු දැකීමට කැමති වේද? එනමුදු එය නීතිගත නොකලද ඇති හැකි අය කුමන මිලක් හෝ ගෙවා තම අවශ්යතාවය ටු කර ගනිති. නමුත් බහුතර දරිද්රයන්ට එතරම් මුදලක් වැය කල හැකිද? නොහැකියාව විසින් අනාරක්ෂිත ගබ්සාවන්ට පොලඹවන ඔවුන්ගේ ඉරණම ගැන සංස්කෘතියේ කොතැනකවත් කතාවන්නේ නැත.අනෙක් අතට යුද්ධයට මුදල් වැය කිරීම හා නිදහස් සෞඛ් සේවය මගින් ගබ්සා පහසුකම ලබා දීමට මුදල් වැය කිරීමේ විශාල වෙනසක් නැත!

අනවශ් දරුවෙකු පවුලට එකතු වීමේදී දරුවාට ඇවසි නිසි රැකවරණය, පහසුකම් ලබා දීමට මවුපියන්ට හැකියාවක් නැත.ශ්රී ලංකාවේ සිදුවන ගබ්සා වලින් 13.2% හේතුව පවුලේ පවතින අධික දරිද්රතාවයයි(4). එහිදී නොසලකා හැරීමට ලක්වන දරුවන්ගේ අනාගතය අදුරු වීම වැලැක්විය නොහැක. අහිංසකයෙකු ලෙස මෙලොව එලිය දුටු දරුවා නිසි රැකවරණය මඳ වීමෙන් සමාජයට බරක් වන අපරාධකරුවන් ලෙස හැඩ ගැසීමට ඇති අවදානම වැඩිය.

කෙසේ නමුදු ගබ්සාවට එරෙහි දැඩි නීතී පැනවීමෙන් ගබ්සා ප්රමාණය හෝ අනවශ් ගැබ් ගැනීම් නතරවේයැයි යමෙකු සිතන්නේනම් එය මුලාවකි. ශ්රී ලංකාවේ පවතින තත්වයම නීති තුලින් ගබ්සා අඩු කිරීමට නොහැකි බවට හොද සාක්ෂියකි. මීට අමතරව රුමේනියාවේ තත්වය සලකා බැලූ විට එහි ගබ්සා නීතිය දැඩිව ක්රියාත්මක වු 60 දශකයේ ගබ්සා ප්රතිශතය ඉතා ඉහල අගයක් වූ අතර 90 දශකයේ ගබ්සා නීති ලිහිල් කිරීමත් සමගම එය සීග් ලෙස අඩු විය(5). ලෝකයේ අඩුම ගබ්සාවන් සිදුවන නෙදර්ලන්තයේ ගබ්සාව නීතියෙන් අනුමත කර ඇත(6).

තවද නිසි පරිදි සෞඛ් පහසුකම් දියුණු කිරීමකින් තොරව ගබ්සාව නීතිගත කිරීමද නිශ්ඵල ක්රියාවකි. ලිපියේ මුල සදහන් වූ ඉන්දියාවේ තත්වය ඊට හොද නිදසුනකි.

ශ්රී ලංකාවේ ගබ්සා නීතිය සංශෝදයේලා 1995දී ගත් තැත ව්යර්ථ වූ තැන එවකට අධිකරණ හා ව්යවස්ථා කටයුතු ඇමතිවරයා පැවසූ අදහසකින් මෙම දීර්ඝ, විවාදාත්මක ලිපිය අවසන් කිරීමට සිතමි.

"ගබ්සා නීති ලිහිල් කිරීම ලෝකයේ විවිධ රටවල් ගණනාවක නීති පද්ධතියේ පරිණාමයත් සමඟ සිදු වෙද්දී, ශ්රී ලංකාව එම සංවර්ධන ක්රියාවලිය සමඟ එකතු නොවීමට කිසිදු හේතුවක් මට නොපෙනේ"(7)


ආශ්‍රිත ලිපි

1- Abeysinghe N L,Weerasundara B J, Jayawardane P A, Somarathne S D; Awareness & views of the law of termination of pregnancy & reason for requesting for resorting to an abortion among a group of women attending to a clinic in Colombo

2- The Safe Motherhood Action Agenda: Priorities for the next decade. Report on the Safe Motherhood Technical Consultation, 18-23 October 1997, Colombo, Sri Lanka, p 57

3- Perera J, Desilva T, Gange H; Knowledge, behaviour, attitude on induced abortion & family planning among Sri Lankan women seeking termination of pregnancy

4- De Silva I, Rankapuge L, Perera R. Induced abortion in Sri Lanka. Who goes to providers for pregnancy termination? In: Demography of Sri Lanka, Issues and challenges. Department of Demography, University of Colombo, Sri Lanka. 2000; 182-96.

5- Roystan E, Armstrong S eds. Preventing maternal death. Geneva: WHO, 198

6- Henshaw S. Abortion laws and practice worldwide. International Conference on Reducing the Need and Improving the Quality of Abortion Service. Stimezo Nerderland, Utrecht, Netherlands, 1997

7- Hansard of 19th September 1995, p 89-128

Related Posts Plugin for WordPress, Blogger...